Spread the love

නිමල් රාජපක්ෂ-

ඊශ්‍රායලයේ රැකියා අවස්ථාවක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 12ක් වංචා කළ අයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය විසින් 2026.09.30 වන දින අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු පසුගිය මහමැතිවරණය සඳහා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කය සඳහා පෙනී සිටි අයෙකි. එසේම මොහු යහපාලන ආණ්ඩු සමයේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පෙනී ඇති බවට විමර්ශනවල දී හෙළි වී තිබේ. සැකකරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය තුළට අදාළ පැමිණිලිකරු කැඳවාගෙන විත් විශ්වාසයක් ඇතිවන පරිදි කටයුතු කර මෙම වංචාව සිදු කර ඇති බවට  විමර්ශන හෙළි වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2026.10.14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත වීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කොට තිබේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ කාර්යාල සහකාර තනතුරුවලට පුද්ගලයන් බඳවා ගැනීම සඳහා ව්‍යාජ ලෙස සකස් කරන ලද ලේඛන නිලධාරීන් භාරයට ගෙන තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින්, ඇඳුනුම්කම් පෙන්වමින් මෙම වංචනික ක්‍රියාවන් දීර්ඝ කාලයක් පූරා සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී තිබේ. තවද විවිධ ප්‍රද්ශවල පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීමේ පැමිණිලි සහ විවිධ රජයේ ආයතන සඳහා රැකියා ලබා දෙන බවට පවසා මුදල් වංචා කිරීමේ පැමිණිලි ද වාර්තා වී තිබේ.

ඒ අනුව මෙම සැකකරු ටෙන්ඩර් මගින් මුදල් වංචා කිරීමකට අදාළ වරාය අධිකාරීයේ විමර්ශනවලට අවශ්‍ය පුද්ගලයෙකු බවට අධිකරණයට කරුණු වාර්තා කර ඇත. එමෙන්ම දිවයින පුරා මුදල් වංචා කිරීමේ පැමිණිලි ද මෙම සැකකරුට එරෙහිව වාර්තා වී ඇත.

මේ අතර නවසීලන්තයේ රැකියා ලබා දෙන බවට පවසා කෝටි 3ක මුදල් වංචා කරන ලද සැකකරුවෙකු බොරලැස්ගමුව ප්‍රදේශයේදී 2026.09.30 වන දින අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය සමත් වී තිබේ.

මෙම සැකකරු කාන්තා, පිරිමි දෙපාර්ශවයට මෙම රැකියා අවස්ථා ලබා දෙන බවට පවසා ඔවුන් සමග අත්සන් ගිවිසුම් ද සමග විමර්ශන භාරයට ගෙන තිබේ.

ඒ අනුව සැකකරු උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ. මොහු ද කාලයක් තිස්සේ විමර්ශන ඒකකය මගහරිමින් සිටි සැකකරුවෙකු බව කාර්යාංශයේ විමර්ශන ඒකකය පැවසීය.

මෙම වැටලීම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ විමර්ශන අංශයේ කළමනාකරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ මහතාගේ උපදෙස් මත, ස්ථානාධිපති, පොලිස් පරික්ෂක T.P. අල්විස්, පො.සැ.36269 N.P. කුලසේකර, පො.සැ.36045 මාරසිංහ සහ පො.සැ.60454 N.P.බාලසූරිය යන නිලධාරීන් විසින් මෙම වැටලීම් සහ විමර්ශන වැඩිදුරටත් සිදු කරමින් පවතී.

රැකියා සදහා විදේශ ගත වීමේදී ලියාපදිංචි නොවූ විදේශ රැකියා ආයතනවලට කිසිදු පුද්ගලයෙකුගේ තම තොරතුරු, මුදල්, ගමන් බලපත්‍ර ලබා දීමෙන් වලකින ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම වංචනික ක්‍රියා පිළිබදව කාර්යාංශය කාර්යාලය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.