නිමල් රාජපක්ෂ
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වී සුරක්ෂා මධ්‍යස්ථානවල රැඳී සිටින දරු දැරියන් සහ වැඩිහිටි ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමේ අරමුණින්, ‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ සංවිධානය කරන ‘Beyond Recovery’ දීපව්‍යාප්ත වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය ඊයේ (10) බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය.
මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොරහෙල මහා විද්‍යාලයේ සහ කනුගොල්ල සුමනාරාම විහාරස්ථානයේ ස්ථාපිත සුරක්ෂා මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම ‘Beyond Recovery’ සමාරම්භක වැඩසටහන පැවැත්විණි.
මේ වන විට මොරහෙල මහා විද්‍යාලයේ පවුල් 118 කට අයත් පුද්ගලයින් 279 දෙනෙකු සහ කනුගොල්ල සුමනාරාම විහාරස්ථානයේ පවුල් 101 ක සාමාජිකයින් 288 දෙනෙකු තාවකාලිකව රැඳී සිටිති.
හුදෙක් භෞතික ආධාරවලින් ඔබ්බට යමින්, ෙඅවතැන් වූ ප්‍රජාවට යළි නැගී සිටීමට අවශ්‍ය ධෛර්යය හා මානසික සහනය ලබා දීම ‘Beyond Recovery’ ව්‍යාපෘතියේ මූලික අරමුණයි. ඒ අනුව ස්වේච්ඡා කලාකරුවන් පිරිසකගේ දායකත්වයෙන් පැවති මෙම විශේෂ සංගීතමය වැඩසටහන, දරුවන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ ද මනස සැහැල්ලු කිරීමටත්, ඔවුන් තුළ නව ජීවයක් ඇති කිරීමටත් විශාල පිටිවහලක් විය.
මීට අමතරව පරිත්‍යාගශීලී පුද්ගලයින් සහ ආයතන විසින් ‘Clean Sri Lanka’ ලේකම් කාර්යාලය වෙත බාර දුන් පාසල් උපකරණ, පොත්පත් සහ සෙල්ලම් බඩු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් දරුවන් වෙත ත්‍යාග ලෙස පිරිනැමීම ද මෙහිදී සිදුවිය.
මානසික සෞඛ්‍යය, ළමා මනෝ විද්‍යාව, ප්‍රජා සෞඛ්‍යය සහ නිර්මාණාත්මක කුසලතා වර්ධනය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති සම්පත්දායකයින් මෙන්ම විදේශික ස්වේච්ඡා ක්‍රියාකාරීන් පිරිසක් ද මෙම ව්‍යාපෘතියට එක්ව සිටි අතර, ඔවුන් දරුවන් වෙනුවෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් මෙහෙයවන ලදී.
බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූ ‘Beyond Recovery’ වැඩසටහන අද (11) දිනයේදීත් තවත් සුරක්ෂා මධ්‍යස්ථාන කිහිපයක ක්‍රියාත්මක කිරීමට නියමිතය.
