Spread the love

මෑත කාලීන සුළි සුළං සහ ගංවතුර හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී බැංකු මගින් සහන සැලසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය මත අනවශ්‍ය බලපෑමක් ඇති නොවන ආකාරයට, බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට ඵලදායී ලෙස සහන ලබාදීමේ අවශ්‍යතාවය හා ශ්‍රී ලංකා බැංකු සංගමයේ යෝජනා සලකා බලමින්, තම ආදායමට හෝ ව්‍යාපාරයට සෘජු බලපෑම් සිදුවූ පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා සහන ලබාදීම මෙහි අරමුණයි.

ණය ගනුදෙනුකරුවන් අදාළ බලපත්‍රලාභි බැංකු වෙත ලිඛිතව හෝ විද්‍යුත් මාර්ගයෙන් ලබන වසරේ ජනවාරි මස 15 දිනට පෙර මේ සඳහා ඉල්ලු‍ම් කළ හැකි වනවා.

ඒ අනුව තාවකාලික ණය සහන, බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන්ට නව ණය පහසුකම්, ලබන වසරේ ජනවාරි මස 31 වැනිදා දක්වා ප්‍රමාද ගාස්තු හෝ දඩ පොලී ආදිය අය කිරීම අත්හිටුවීම සහ ණය පහසුකම්වලට අදාළ සැකැස්මක් ඉදිරිපත් කිරීමට මේ යටතේ පහසුකම් සලසා තිබෙනවා.