Spread the love

නිමල් රාජපක්ෂ

බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රථම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හමුව (First BIMSTEC Senior Officials’ Meeting on Health) අද (10) පෙරවරුවේ කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී ආරම්භ විය.

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන බිම්ස්ටෙක් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රථම සමුළුවට සමගාමීව සංවිධානය කර ඇති මෙම හමුව, සාමාජික රටවල් අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිපත්තිමය, තාක්ෂණික හා ක්‍රියාකාරී සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත් සංධිස්ථානයක් ලෙස සැලකේ.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය, නේපාලය, මියන්මාරය සහ තායිලන්තය යන සාමාජික රටවල් හත නියෝජනය කරමින් සෞඛ්‍ය ලේකම්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වන මෙම සාකච්ඡාවලදී කලාපීය සෞඛ්‍ය අභියෝග හඳුනාගැනීම, ඒවාට සාමූහිකව මුහුණදීම මෙන්ම දැනුම, අත්දැකීම් සහ තාක්ෂණික විශේෂඥතාව හුවමාරු කරගැනීම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කෙරේ.

ඒ අනුව, බෝවන රෝග හා වසංගත වැළැක්වීම සහ පාලනය, හදිසි සෞඛ්‍ය තත්ත්වයන්ට සූදානම් වීම හා ප්‍රතිචාර දැක්වීම, රෝග නිරීක්ෂණ පද්ධති ශක්තිමත් කිරීම, සෞඛ්‍ය සේවා පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම, ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධය අවම කිරීම, ඩිජිටල් සෞඛ්‍ය සේවා සහ වෛද්‍ය පර්යේෂණ ඇතුළු ප්‍රමුඛතාගත ක්ෂේත්‍ර රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරේ.

එමෙන්ම, දේශගුණික විපර්යාස සෞඛ්‍ය ක්ෂේත්‍රයට එල්ල කරන බලපෑම්, මානව හා සත්ව සෞඛ්‍යය අතර පවත්නා අන්තර් සම්බන්ධතාව පදනම් කරගත් ‘එක් සෞඛ්‍ය’ (One Health) ප්‍රවේශය සහ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම සම්බන්ධයෙන් කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරේ.

බිම්ස්ටෙක් මහලේකම් ඉන්ද්‍ර මනි පාණ්ඩේ (Indra Mani Pandey) මහතාගේ මෙහෙයවීමෙන් ආරම්භ වූ මෙම හමුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත පිරිනමනු ලැබීය. ඒ අනුව, හමුවේ ඉදිරි සාකච්ඡා සහ සියලු කටයුතු විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ සභාපතිත්වයෙන් මෙහෙයවීමට නියමිතය.

මෙම හමුවට සමගාමීව පැවැත්වෙන බිම්ස්ටෙක් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රථම සමුළුව ද කලාපීය සෞඛ්‍ය සහයෝගීතාවේ ඉදිරි දිශානතිය තීරණය කිරීමේ සුවිශේෂී අවස්ථාවක් වනු ඇත. සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන එම සමුළුව තුළින් කලාපීය සෞඛ්‍ය ප්‍රතිපත්ති, පොදු අභියෝග සහ අනාගත සහයෝගීතා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ප්‍රතිපත්තිමය සංවාදයකට අවකාශ සැලසේ.

භූගෝලීය සමීපතාව, ජනගහන සංචලනය, දේශගුණික විපර්යාස සහ දේශසීමා ඉක්මවා පැතිර යා හැකි සෞඛ්‍ය අවදානම් සැලකිල්ලට ගත් විට, බිම්ස්ටෙක් කලාපයේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සාමාජික රටවල් අතර විධිමත් සම්බන්ධීකරණයක් සහ ඒකාබද්ධ ක්‍රියාකාරී ප්‍රවේශයක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මට්ටමින් ඇති කරගන්නා තාක්ෂණික හා ප්‍රතිපත්තිමය එකඟතා මෙන්ම අමාත්‍ය මට්ටමේ තීරණ ද තීරණාත්මක පදනමක් සපයනු ඇත.

මෙම සාකච්ඡා හා සමුළු ඔස්සේ ඇති කරගන්නා එකඟතා මඟින් සාමාජික රටවල් අතර සෞඛ්‍ය සහයෝගීතාව වඩාත් විධිමත් හා ප්‍රතිඵලදායක මට්ටමකට ගෙන යාමත්, කලාපයේ ජනතාවගේ සෞඛ්‍ය හා යහපැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් ගොඩනැඟීමත් අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ සහ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර ආනල්ඩ් යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද, බිම්ස්ටෙක් සාමාජික සෙසු රටවල් නියෝජනය කරමින් පැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.