Spread the love

නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීම සහ ඒ සඳහා කැනඩා රජයේ සහයෝගීතාව ලබාගැනීම පිළිබඳ වැදගත් සාකච්ඡාවක් 2026 11 09 දින අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ඒ, ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස්වරිය සහ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා අතර පැවති සුහද හමුවේදීය.
මෙහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳවද අදහස් හුවමාරු වූ අතර, අතීතයේ මුහුණ දුන් දැවැන්ත ආර්ථික අර්බුදයෙන් පසුව රටේ දේශපාලන ස්ථාවරත්වය සහ ඉදිරි ගමන පිළිබඳව මහකොමසාරිස්වරිය සිය සතුට පළ කළාය.
ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් කැනඩා රජයේ අවධානය යොමුවී ඇති බවත්, විශේෂයෙන් කැනඩා රාජ්‍යයේ අත්දැකීම්, තාක්ෂණික දැනුම සහ සහයෝගීතාව මෙරට වෘත්තීය අධ්‍යාපනය සඳහා යොදාගැනීමේ හැකියාව පිළිබඳවත් ඇය සඳහන් කළාය.
එමෙන්ම, මෙරට වෘත්තීය අධ්‍යාපන පද්ධතිය තුළ සේවය කරන සම්පත්දායකයන්ගේ වෘත්තීය නිපුණතා, ඉගැන්වීමේ හැකියාවන් සහ ධාරිතාව සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
විශේෂයෙන්ම සංචාරක හා ආගන්තුක සත්කාර (Tourism and Hospitality) සහ කෘෂිකර්මාන්තය (Agriculture) වැනි ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබාදිය හැකි ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික දැනුම, ප්‍රායෝගික පුහුණුව සහ වෘත්තීය කුසලතා තරුණ පරපුරට ලබාදීමේ වැඩසටහන් හඳුන්වාදීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
තවද, කාන්තා ජනගහනයේ සහභාගීත්වය හා ආර්ථික සවිබලගැන්වීම ඉහළ නැංවීම වෙනුවෙන් කාන්තාවන්ගේ අවශ්‍යතා හා අවස්ථාවන්ට ගැළපෙන විශේෂිත වෘත්තීය අධ්‍යාපන වැඩසටහන් හඳුන්වාදීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය විය.
ශ්‍රී ලංකාව සතු ස්වභාවික සම්පත්, මානව සම්පත් සහ ආර්ථික විභවතාවන් ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගනිමින් රටේ සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගය ලබාදීමට කැනඩා පාර්ශ්වයේ එකඟතාව පළ වීම මෙම හමුවේ තවත් වැදගත් ප්‍රතිඵලයකි.

මෙම සහයෝගීතාව ක්‍රියාත්මක කළ හැකි ආකාරය, ප්‍රමුඛතා ක්ෂේත්‍ර හඳුනාගැනීම සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දෙපාර්ශ්වය අතර නැවතත් සාකච්ඡා පැවැත්වීමට අවශ්‍ය මූලික එකඟතාවන් සහ පදනම මෙම හමුව තුළින් ගොඩනැගිණි.
රැකියා වෙළෙඳපොළට ගැළපෙන නිපුණතා සහිත මානව සම්පතක් බිහිකිරීමත්, ජාත්‍යන්තර සහයෝගීතාව තුළින් ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය නව මාවතකට යොමු කිරීමත් මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය.
නිපුණතා සපිරි මානව සම්පතක් තුළින් සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් තවත් ජාත්‍යන්තර සහයෝගීතා පියවරක්!.