Spread the love

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ, මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානාය‍කගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ආරම්භ කෙරිණ..

තිරසර, නවීන සහ ප්‍රමිතිගත පොදු ප්‍රවාහන පද්ධතියකින් සමන්විත සුන්දර ජීවන රටාවක් අත්කර ගැනීම උදෙසා දුම්රිය ස්ථානවල පොදු පහසුකම් ඉහළ නැංවීම,  දුම්රිය ස්ථාන සුවපහසු ආරක්ෂිත ස්ථාන බවට පත් කිරීම අරමුණු කර ගනිමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන විසින් රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය මත, දිවයිනේ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කෙරේ.

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව ද ඇතුළත්ව සියලු මගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සලසන පිරිසිදු, සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

සමරු ඵලකය නිරාවරණය කරමින්, මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කිරීමේ අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගි වූ අතර, ඔහු දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි පාලක මැදිරිය ඇතුළු ස්ථාන කිහිපයක්ද නිරීක්ෂණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබෙන්නේ.