මෙරට පාතාල ක්‍රියාකාරකම් හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, රණසිංහ ප්‍රේමදාස සහ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන නායකයන්ගේ අනුග්‍රහය යටතේ පවත්වාගෙන ගිය බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ දකුණු පළාතේ පාතාල කණ්ඩායම් පවත්වාගෙන ගොස් ඇත්තේ රාජපක්ෂ, වික්‍රමසිංහ සහ ප්‍රේමදාස යන ජනාධිපතිවරැන්ගේ සම්බන්ධීකරණයෙන් බවයි.
උතුරු පළාතේ යුද්ධයක් පැවති හෙයින් එහි පාතාලයක් ගොඩනැගීමට අවස්ථාවක් නොලැබුණු බවද ඔහු පෙන්වා දෙයි.
මෙම පාතාල කණ්ඩායම් අතර ගැටුම් ඇති වුවද, ඒවා එතරම් උත්සන්න නොවූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඊට හේතුව ලෙස ඔහු දක්වන්නේ එම කණ්ඩායම් පාලනය කිරීම සඳහා එක් ‘ගෝඩ් ෆාදර්’ කෙනෙක් සිටීමයි.
තවද, පාතාලය භාරව සිටි ඒ ඒ ආණ්ඩු වල ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ඊට සම්බන්ධ වී සිටි බව අමාත්‍යවරයා පැවසීය.
පාතාල කල්ලි අතර ගැටුමක් ඇති වූ විට, අදාළ දේශපාලන නායකයන් හෝ ඔවුන්ගේ සම්බන්ධීකාරකවරුන් මැදිහත් වී එම ගැටලු නිරාකරණය කරගෙන ඇති බවත් එමෙන්ම, පාතාල කණ්ඩායම් අතර ප්‍රදේශ බෙදා දීමක් සිදුව තිබීම හේතුවෙන්, කල්ලි අතර ගැටුම් අවම වී ඇති බව තවදුරටත් ඔහු පැවසීය.
