නිමල් රාජපක්ෂ
මෙරට ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීය රජය විසින් තාක්ෂණික ශ්‍රේණියේ මැලතියන් (Technical Grade Malathion) කෘමිනාශක ලීටර් 500ක තොගයක් පරිත්‍යාග කර ඇත. එම පරිත්‍යාගය අද (04) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී නිල වශයෙන් භාර දෙන ලදී.
මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ ඩෙංගු පාලන වැඩසටහන් සඳහා අත්‍යවශ්‍ය තාක්ෂණික සහායක් සැපයීම මෙන්ම, මහජන සෞඛ්‍ය ක්ෂේත්රය තුළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දශක ගණනාවක් පුරා පවතින සමීප සහ විශ්වාසනීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරන සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.
ඒ අනුව, ඉන්දීය රජයෙන් පරිත්‍යාග කරන ලද තාක්ෂණික ශ්‍රේණියේ මැලතියන් තොගය, අවදානම් ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරන ධූමායන (Fogging) වැඩසටහන් සඳහා භාවිත කිරීමට නියමිත අතර, එය විශේෂයෙන්ම වැඩිහිටි ඩෙංගු වාහක මදුරුවන්ගේ ඝනත්වය කඩිනමින් අඩු කිරීම සඳහා යොදා ගැනීමට අපේක්ෂිතය.
තාක්ෂණික ශ්‍රේණියේ මැලතියන් යනු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුකූලව රෝග වාහක මදුරු මර්දන වැඩසටහන්වල දශක ගණනාවක් පුරා භාවිත කරනු ලබන ඔර්ගැනොෆොස්ෆේට් කාණ්ඩයේ කෘමිනාශකයකි. සෞඛ්‍ය අංශ විසින් එය නිර්දේශිත සාන්ද්‍රණයට අනුව ද්‍රාවක සමඟ මිශ්‍ර කර විශේෂ ධූමායන යන්ත්‍ර මගින් ඉතා සියුම් අංශු ලෙස මදුරුවන් බෝවෙතැයි අපේක්ෂිත පරිසරයට මුදා හරින අතර එමගින් පියාසර කරන මදුරුවන් කෙටි කාලයක් තුළ විනාශ කරයි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා 2026 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 88,000ක සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවත්, මරණ 60කට මදක්වැඩි සංඛ්‍යාවක් ද වාර්තා වී ඇති බව පැවසීය.
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම මෙන්ම අවදානම් ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ධූමායන කටයුතු විධිමත්ව ක්‍රියාත්මක කිරීම ද ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ වැදගත් පියවරක් බව සඳහන් කළ අමාත්‍යවරයා, එම කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යමින් සිටියද පසුගිය කාලය පුරා මෙරට තුළ මැලතියන් හිඟයක් පැවති බැවින් ඩෙංගු මර්දන ධූමායන වැඩසටහන් සඳහා අවශ්‍ය මැලතියන් ලබාදෙන ලෙස ඉන්දීය රජයෙන් හදිසි ඉල්ලීමක් සිදු කළ බව පැවසීය.
මෙම පරිත්‍යාගය රටපුරා ක්‍රියාත්මක ඩෙංගු මර්දන හා ධූමායන වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් සපයනු ඇති බවත්, සාමාන්‍යයෙන් භාවිත කරන රසායනික ද්‍රව්‍යවලට අමතරව මැලතියන් භාවිත කිරීමේ අවශ්‍යතාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ද අවධාරණය කර තිබූ බැවින් මෙම ඉල්ලීම සිදු කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මෙහි දී අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය සෑම අවස්ථාවකදීම ඉන්දීය රජය සහයෝගය ලබාදීමට කැපවී සිටින බවත්, දෙරට අතර සෞඛ්‍ය සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවත් සදහන් කලේය.
