Spread the love
      -

නිමල් රාජපක්ෂ

ආපදාවකදී ජනතාවට සහන සැලසීම සිදුකරනවා සේ ම නැවත එවැනි ආපදා ඇති නොවන පරිදි අවශ්‍ය පූර්ව ආරක්ෂණ හා සංවර්ධන ක්‍රියාමාර්ග ගැනීම රජයේ වගකීම වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය.

රත්මලාන – කඳවල මාර්ගය සහ අදාළ නිර්මිතයන් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භය වෙනුවෙන් ඔක්තෝබර් 30 වැනි දා කඳවල දී පැවති සමාරම්භක උත්සවය හා එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසන ලදී.

රත්මලාන – කඳවල මාර්ගය සහ අදාළ නිර්මිතයන් සංවර්ධනය වෙනුවෙන් වන මෙම ව්‍යාපෘතිය බස්නාහිර පළාත් සභාවේ නියාමනයෙන් සහ බස්නාහිර පළාත් මාර්ග අමාත්‍යංශයේ අධීක්ෂණයෙන් ද බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ ක්‍රියාත්මක බලධාරීත්වයෙන් ක්‍රියාත්මක වන අතර බස්නාහිර පළාත් සංවර්ධන අරමුදලේ රුපියල් මිලියන 1,104 ක ප්‍රතිපාදන මේ සඳහා වෙන් වී ඇත.

මෙහිදී උත්සව සභාව ආමන්ත්‍රණය කළ අග්‍රාමාත්‍යවරිය, අභිනව කඳවල සංවර්ධන ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා දේශපාලන අධිකාරිය සහ අදාළ රාජ්‍ය ආයතන අතර පවතින මනා සම්බන්ධීකරණය, අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාව විශේෂ ඇගයීමට ලක් කළාය. එමෙන්ම, කඳවල ප්‍රදේශයේ ජනතාව මෙන්ම එහි පිහිටි රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ කර්මාන්තශාලා ද පොදු අරමුණක් වෙනුවෙන් විවිධ කැපකිරීම් සිදුකරමින් මෙම ව්‍යාපෘතියට ලබාදෙන දායකත්වය ද අගය කළාය.

එමෙන්ම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම වෙනුවෙන් අඛණ්ඩව මැදිහත් වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ මන්ත්‍රීවරියටත් මේ සඳහා මූල්‍යමය බාධා ඇති නොවන පරිදි සිදුකළ මැදිහත්වීම සම්බන්ධව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් මහතාටත් විශේෂයෙන් ස්තුතිවන්ත වූ අග්‍රාමාත්‍යවරිය මෙම ව්‍යාපෘතිය වසරක් ඇතුළත අවසන් කිරීම රජයේ සැලසුම බවත්, ඒ තුළින් ප්‍රදේශවාසීන්ට සැලකිය යුතු උපරිම සහනයක් සැලසෙනු ඇති බවත් පැවසීය.