Spread the love

නිමල් රාජපක්ෂ-

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි විංධ්‍යා ප්‍රේමරත්න මහත්මිය පසුගියදා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හි ඉහළම වීරත්ව සම්මානය වන ‘පරම වීර විභූෂණය’ පදක්කමෙන් පිදුම් ලැබූ 9 වන බලඇණිය ගැමුණු හේවා බලකායට අයත් කපිතන් යූ.ජී.ඒ.එස්. සමරනායක නිලධාරීගේ පවුලේ සාමාජිකයින් හමුවිය. සුවිශේෂී වීරත්වය සහ රාජකාරියේ නියැලී සිටියදී කළ උත්තරීතර ජීවිත පරිත්‍යාගය වෙනුවෙන් එම නිලධාරී වෙත ‘පරම වීර විභූෂණය’ පදක්කම පිරිනමා ඇත.

කපිතන් යූ.ජී.ඒ.එස්. සමරනායක 2009 මාර්තු මස 02 වන දින එල්.ටී.ටී.ඊ. ත්‍රස්ථවාදී ග්‍රහණයෙන් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශය මුදා ගැනීමේ සටනේදී තම ජීවිතය පරිත්‍යාග කළ නිර්භීත නිලධාරියෙකි. පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පැවති මෙහෙයුම් අතරතුර, වෙඩි ප්‍රහාරවලට ලක්ව බරපතල තුවාල ලබා සිටියද, ඔහු නොසැලෙන අධිෂ්ඨානයෙන් සහ ධෛර්යයෙන් යුතුව සතුරාට එරෙහිව සටන් කරමින් තම සගයන් ආරක්‍ෂා කර ගැනීම සඳහා සිදුකල අතිවිශිෂ්ට වීරත්වය සහ පරාර්ථකාමී ක්‍රියාකලාපය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. සතුරා හමුවේ දැක්වූ අතිවිශිෂ්ට වීරත්වය, නොසැලෙන ධෛර්යය සහ උත්තරීතර කැපවීම වෙනුවෙන් කපිතන් යූ.ජී.ඒ.එස්. සමරනායක නිලධාරී වෙත ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හි ඉහළම වීරත්ව සම්මානය වන ‘පරම වීර විභූෂණය’ මරණින් පසුව පිරිනමන ලදී.

එම නිල සංචාරයේදී යුද්ධ හමුදාධිපති දිවංගත කපිතන් සමරනායක නිලධාරීගේ භාර්යාව වන ගයානි නන්දිසිරි මහත්මිය ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් විමසනු ලැබීය. එමෙන්ම මාතෘභූමියේ ආරක්‍ෂාව වෙනුවෙන් උත්තරීතර ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධනය සහ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා යුද්ධ හමුදාව අඛණ්ඩව කැපවී සිටින බව අවධාරණය කළ යුද්ධ හමුදාධිපති, ඔවුන් වෙත ඉදිරියටත් අවශ්‍ය සහාය සහ පහසුකම් ලබාදීමට යුද්ධ හමුදාව සූදානම් බව සහතික කළේය.

මෙම සංචාරය, රට වෙනුවෙන දිවි පිදූ රණවිරුවන්ගේ අමිල උරුමය නැවතත් සිහිපත් කරවන සංවේදී අවස්ථාවක් විය. ඔවුන්ගේ නිර්භීතභාවය, කැපවීම සහ අසීමිත පරිත්‍යාගයන් යුද්ධ හමුදාව විසින් අදටත් මහත් ගෞරවයෙන් හා ආදරයෙන් සිහිපත් කරනු ලබයි. ඔවුන් විසින් මාතෘභූමිය වෙනුවෙන් සිදුකළ නිස්සරණ සේවය අනාගත පරපුරේ සෙබළුන්ට ද අඛණ්ඩව ආදර්ශයක් හා අභිප්‍රේරණයක් සපයන අතර, එය යුද්ධ හමුදාවේ අභිමානවත් උරුමයේ වෙන් කළ නොහැකි අංගයක් ලෙස පවතී.