Spread the love

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය, ඩිජිටල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවීම පහසු කරලීමේ අරමුණින් හඳුන්වා දුන් ස්ථානීය දඩ අයකර ගැනීමේ ක්‍රමවේදය බස්නාහිර පළාතට හඳුන්වාදීම පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීම අද (.28) සිදුකෙරිණ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මාධ්‍ය හමුව කොළඹ 01, චෛත්‍ය පාර පිහිටි වරාය අමාත්‍යංශයේ දී පැවැත්විණ.

බස්නාහිර පළාතේ රථවාහන පොලිස් නිලධාරීන් 1000 කට ජංගම දුරකථන ලබාදීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරුණු අතර, ඒ සඳහා Lanka Pay ආයතනය මගින් දුරකථන නොමිලේ ලබාදුන් අතර,  අවශ්‍ය සිම්පත් නොමිලේ ලබාදීම Mobitel ආයතනය මගින් සිදුකෙරිණ.

මෙහි නියමු ව්‍යාපෘතිය කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක විය. එහි සාර්ථකත්වය අනුව අධික ජන ඝණත්වයකින් යුත් බස්නාහිර පළාත තුළ ව්‍යාපෘතිය ආරම්භ කළ අතර, ඉදිරියේ දී උතුරු සහ නැගෙනහිර දෙපළාත් ඇතුළුව මුළු දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

මෙහි දී බිමල් රත්නායක අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ, මිලියන 22 ක ජනතාව සමග සෘජුවම සම්බන්ධ වන ප්‍රවාහන සේවාවේ දී සමස්ථය ම එක් වැඩසටහනකට ගොනුකර ගැනීම අභියෝගාත්මක බවත් ඒ සඳහා තාක්‍ෂණික, කළමනාකරණ හා සංවිධානමය ශක්තියත් ඇති කරගත යුතු බවත් ය. එමගින් සිදුවන රිය අනතුරු අවම කර ගනිමින් මාර්ග පමණක් නොව ප්‍රවාහනයේ ආරක්‍ෂාව ද පුළුල් කිරීම සිදුකර ගතහැකි බවයි. ජනප්‍රිය දේශපාලනය සඳහා මාර්ග ඉදිනොකොට ආරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඉදිරියේ දී මාර්ග සංවර්ධන කටයුතු සිදුකරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

මෙම අවස්ථාවට මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශය නියෝජනය කරමින් නියෝජිතයෝ පිරිසක් එක්වූහ.