Spread the love

නිමල් රාජපක්ෂ –

“ප්‍රජා ශක්ති” දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී වසමකම අවම වශයෙන් එක් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා 2026 අයවැයෙන් රුපියල් මිලියන 25,000ක මුදලක් වෙන් කර තිබේ. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ “ප්‍රජා ශක්ති” ජාතික මහලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

සෑම ග්‍රාම නිලධාරී වසමක්ම ආවරණය වන පරිදි පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සභා මඟින් හඳුනාගනු ලබන සංවර්ධන ව්‍යාපෘති ප්‍රමුඛතාව අනුව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන ලෙස සංවර්ධනය කිරීමේ “පැරකුම් ලෙගසි” සංවර්ධන ව්‍යාපෘතිය ඊයේ (18) පෙරවරුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. මේ සඳහා රුපියල් මිලියන 100ක මුදලක් වෙන් කර ඇත.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුවට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා විවිධ ව්‍යාපෘති සැලසුම් කර ඇත. ඒ අනුව, ඇතුමල් වැව ආශ්‍රිතව කයැකින් පහසුකම්, පාරම්පරික බෝට්ටු සවාරි, වනජීවීන් නැරඹීම සඳහා පහසුකම්, අත්කම් නිර්මාණ ගම්මානයක්, වෙළෙඳ කුටි, දේශීය හා විදේශීය ආහාර රසවිඳීමේ පහසුකම් ඇතුළු සංචාරක පුරවරයක් ලෙස ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ගම්මාන සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. එමඟින් ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමත්, ග්‍රාමීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමත් අපේක්ෂා කෙරේ.

“පැරකුම් ලෙගසි” ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කරමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ, දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත සංචාරක ගම්මාන වැඩසටහන් මාලාවේ ප්‍රථම අදියර ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බවයි. එමෙන්ම “ප්‍රජා ශක්ති” දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 618ක් වෙන් කර ඇති අතර, ඊට අමතරව රුපියල් මිලියන 100ක (කෝටි 10ක) මුදලක් මෙම ව්‍යාපෘතිය සඳහා විශේෂයෙන් වෙන් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම, ප්‍රාදේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම, සංචාරකයන් ප්‍රදේශයට ආකර්ෂණය කර ගැනීම හරහා නව ව්‍යාපාරික අවස්ථා පුළුල් කිරීම, දේශීය නිෂ්පාදන සඳහා නව වටිනාකමක් එක් කරමින් ජාතික ආර්ථිකයට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු බව ද අමාත්‍යවරයා පැවසීය.