Spread the love

කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රවාහන පහසුකම් විධිමත් කරමින් ග්‍රාමීය හා නාගරික මාර්ග ජාලය ශක්තිමත් කිරීමේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති 03 ක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ පසුගියදා නිල වශයෙන් ආරම්භ කෙරිණි.

මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘති හොරණ, කළුතර සහ අගලවත්ත මැතිවරණ බලප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූ අතර, ඒ අනුව කිලෝමීටර් 2.11 දුරකින් යුත් හොරණ, කුඹුක බටූවිට- නාරන්ගහහේන මාර්ගය රුපියල් මිලියන 38 පිරිවැයක් යටතේ ද, අගලවත්ත බෝධියකන්ද මුලටියන මාර්ගය රුපියල් මිලියන 89 ක පිරිවැයක් සහ කිලෝමීටර් 1.700 දුර ප්‍රමාණයකින් යුත් කළුතර ගෝනදූව කවටයාගොඩ – දික්වැල්ල මාර්ගය රුපියල් මිලියන 58 ක පිරිවැයක් යටතේ ද සම්පූර්ණයෙන්ම කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) මඟින් මෙහෙයවනු ලබන මෙම පුළුල් මාර්ග සංවර්ධන වැඩසටහන, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (iROAD-2) යටතට අයත් වේ.

මෙම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මෙවැනි ආකාරයේ සංවර්ධනය විය යුතූ ග්‍රාමීය මාර්ග රාශියක් කළුතර දිස්ත්‍රික්කයේ මෙන්ම රට පුරා පවත්නා බවත් එම මාර්ග සැලසුම් සහගත වැඩපිළිවෙළක් තුළ අවශ්‍යතාවයන්ට අනුව ප්‍රමුඛතාවය දෙමින් සංවර්ධනය කෙරෙමින් පවතින බවයී.

කළුතර දිස්ත්‍රික්කයේ iRoad ව්‍යාපෘතිය වෙනුවෙන් පමණක් රුපියල් මිලියන 1000 වැය කෙරෙන බවත් මධ්‍යම රජය යටතේ ද මාර්ග සංවර්ධනය සඳහා මුදල් වෙන් කෙරෙන බව පැවසූ අමාත්‍යවරයා මෙම වසර අවසන් වීමට ප්‍රථම කහතුඩුව ඉංගිරිය අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරෙන බව ද අධිවේගී මාර්ගවල වැඩ ඉතිරි වී ඇති කොටස් වන කඩවත – මීරිගම, කුරුණෑගල – දඹුල්ල, කුරුණෑගල – නුවර ඇතුළු කොටස් සංවර්ධනය කිරීමට කටයුතු ආරම්භ කරන බව ද පැවසීය.

ග්‍රාමීය මාර්ග, අධිවේගී මාර්ග ඇතූළු මාර්ග සංවර්ධනය සඳහා රජය විශාල මුදලක් වැය කරන බවත්, ලබන අයවැය මගින් ද එම සංවර්ධන වැඩකටයුතු සඳහා මුදල් වෙන් කෙරෙන බව ද ඒ අනූව ලබන වසරේ සංවර්ධන වැඩකටයුතු සඳහා රුපියල් බිලියන 2000 ක් වෙන් කෙරෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනේ සමස්ත ඇස්තමේන්තුගත මුදල රුපියල් 691,807,348.76 කි. මෙම සමස්ත මාර්ගවල මුළු දිග ප්‍රමාණය කිලෝමීටර් 20.00 කි. දින 455 ක ඉදිකිරීම් කාලසීමාවකින් ද යුක්තය.