Spread the love

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය හරහා ඉදිකර තිබෙන කම්බි පාලම සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණ කිරිමේ කටයුතුවතුකරයේ තරුණ පිරිසක් එක්ව ස්වේච්ඡාවෙන්ම සිදු කරනු ලබයි.

නෝර්වුඩ් වෙන්චර් වතුයායේ සහ බගවන්තලාව කර්කස්වෝල් වතුයායේ හෙල්බඩ කොටසට පිවිසීමට මීට වසර 40 කට ප්‍රථම මෙම කම්බි පාලම එවකට තේ වතු පාලනය කල පාලන අධිකාරි විසින් ඉදි කර ඇත.

අඩි 170ක දිගකින් යුත් අඩි 5ක් පමණ පලළකින් යුත් මෙම පාලමේ දිනකට පාසල් ළමුන් ඇතුළු වතුකම්කරුවන් විශාල පිරිසක් ගමන් කරන අතර, වසර තුනක පමණ කාලයක සිට එම පාලමේ ලෑලි කොටස සම්පූර්ණයෙන්ම දිරාපත් වී කැඩීයෑම නිසා එම කම්බි පාලම මතින් ගමන් කිරිම දැඩි ලෙස අවධානමකට පත් වී තිබුණි.

එම පාලම අලුත් වැඩියා කර දෙන බවට වතුකරය නියෝජනය කරන දේශපාලඥයන් අවස්ථා කිහිපයකදි පොරොන්දු වී තිබුණත්, මැතිවරණවලින් පසු එසේ පොරොන්දු වූ දේශපාලඥයින් පොරොන්දුව ඉටු නොකළ බවයි කම්බි පාලම අලුත් වැඩියා කිරිමේ කටයුතුවල නියැලී සිටින නෝර්වුඩ් වෙන්චර් වතුයායේ සහ බගවන්තලාව කර්කස්වෝල් වතුයායේ හෙල්බඩ කොටසේ තරුණ ප්‍රජාව කියා සිටියේ.

කෙසෙල්ගමුඔය හරහා දැනට ගමන් ගන්නා වතුකරයේ ජනතාව වෙනුවෙන් තාවකාලික පාලමක් ඉදි කර එම තරුණ ප්‍රජාව බගවන්තලාව කර්කස්වෝල් වතුයායේ වතු අධිකාරිවරයාගෙන් වියලි යූ කැලැප්ටිස් වර්ගයේ ගසක් ලබා ගෙන ගස ලී වශයෙන් ඉරාගෙන කම්බි පාලම සම්පූර්ණයෙන්ම අලුත් ලෑලි යොදා සකස් කර තීන්ත ආලේප කිරීමට පියවර ගෙන ඇත.

කම්බි පාලම අලුත් වැඩියා කිරිමේ කටයුතුවල නියැලී සිටින තරුණ ප්‍රජාවට අවශ්‍ය තේ සහ ආහාර පාන හැකි පමණින් ලබා දීමටත්, පාලම මතින් ගමන් කරන පිරිස් සපයා දීමට පියවර ගෙන ඇති අතර, පාලමේ අලුත් වැඩියා කටයුතුවලට අවශ්‍ය විදුලි බලය පාලම අසළ නිවසක පදිංචිකරුවෙකු විසින් සපයා දීමට කටයුතු කර ඇත.

පාලම අලුත් වැඩියා කිරිමේ කටයුතුවල නියැලී සිටින තරුණ පිරිස මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටින්නේ එකමුතුකම සහ උත්සහය තිබේ නම් ඕනෑම මෙවැනි පොදු වැඩක් තවත් කෙනෙකු කරනකම් බලා නොසිට සිදු කිරිමට හැකියාව ඇති බව මේ තුලින් තේරුම්ගත් බවයි.