,නිමල් රාජපක්ෂ
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සංවිධානය කරනු ලැබූ ජාතික විද්‍යා සතියේ ප්‍රධානතම වැඩසටහන වන “විද්‍යාව වෙළෙඳපොළට – 2026” (Science-to-Market – 2026) වැඩසටහන අද දින සාර්ථකව නිමාවට පත්විය. සමාප්ති උළෙල ඊයේ( 15) දින පස්වරුවේ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පර්යේෂකයන්, නව නිපැයුම්කරුවන්, නවෝත්පාදකයන් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පෞද්ගලික අංශයේ ආයෝජකයන්, අපනයනකරුවන් සහ කර්මාන්ත ක්ෂේත්රයේ නියෝජිතයන් සමඟ සම්බන්ධ කිරීම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය. පර්යේෂණ මත පදනම් වූ තාක්ෂණික නිර්මාණ සහ මූලාකෘති (Prototypes) ප්‍රදර්ශනය කිරීම මෙන්ම ව්‍යාපාරික සබඳතා සහ හවුල්කාරිත්වයන් ගොඩනැඟීම සඳහා පහසුකම් සැලසීම තුළින් පර්යේෂණ සහ ඒවාහි වාණිජමය භාවිතය අතර පවතින පරතරය අවම කිරීම ද මෙමගින් අපේක්ෂා කෙරිණි.
සමාප්ති උත්සවයේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සම්පාදනය කරන ලද රසායනාගාර තොරතුරු පද්ධතිය එළිදැක්වීම සිදු කිරීම විශේෂත්වයක් විය. ජාතික නව්‍යකරණ නියෝජිතායතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන නව්‍යකරණ වවුචර්පත් වැඩසටහන යටතේ නව්‍යකරණ 21ක් සඳහා වවුචර්පත් පිරිනැමීම ද මෙහි දී සිදු කෙරිණි.
ප්‍රදර්ශනය කරන ලද නවෝත්පාදන අතරින් ඉහළ වෙළඳ විභවයක් සහිත නවෝත්පාදන සඳහා ඇගයීම් සහතිකපත් පිරිනැමීම ද සිදු කෙරිණි.පර්යේෂණ උපකරණ අලුත්වැඩියා කිරීමේ විද්‍යා හා තාක්ෂණ ගරාජය වැඩසටහන යටතේ නවීන තාක්ෂණය පිලිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය (ACCIMT) විසින් අලුත්වැඩියා කරන ලද ඉහල වටිනාකමකින් යුත් පර්යේෂණ උපකරණ සංකේතාත්මකව රුහුණු විශ්ව විද්‍යාලය වෙත බාර දීම ද මෙහි දී සිදු කෙරිණි.
ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ සහයෙන් සිදු කරන ලද වෑද්දුම් ශිල්පීය කාර්ය සාධනය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ අමාත්‍යාංශයේ මූල්‍ය දායකත්වය ලැබූ ශිල්පීන් 28 දෙනෙකු සඳහා සහතික පත්‍ර පිරිනැමීම සහ Myth Smashers තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙනුවෙන් සහතික පත්‍ර පිරිනැමීම ද මෙහි දී සිදුකෙරිණි.
ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක හා තාක්ෂණික හැකියාවන් ශක්තිමත් කිරීම, නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම සහ පර්යේෂණ ප්‍රතිඵල ජාතියට ප්‍රයෝජනවත් වන ප්‍රායෝගික විසඳුම් බවට පරිවර්තනය කිරීම සඳහා රජය දැඩි කැපවීමකින් කටයුතු කරන බවත්, දේශීය වශයෙන් සංවර්ධනය කරන ලද ඉහල විභවතාවයෙන් යුතු තාක්ෂණික නිපැයුම් හඳුනා ගැනීමටත්, ඒවා වාණිජකරණය කිරීම වෙනුවෙන් කර්මාන්ත ක්ෂේත්රය සමඟ පුළුල් සහයෝගී වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙමින් තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය රෝෂණී දිසානායක මහත්මිය ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරීන් සහ අනුබද්ධ ආයතන ප්‍රධානීන්, විද්‍යඥයින්, පර්යේෂකයින්, විශ්ව විද්‍යාල හා පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
