නිමල් රාජපක්ෂ-
මෙරට ජනතාව ‘දිත්වා’ වැනි ස්වාභාවික විපත්වලදී දක්වන මනුෂ්‍යත්වයේ බැඳීම රට ගොඩනැඟීමේ කාර්යයේදී ද ශක්තිමත්ව පැවතීම ඉතා වැදගත් කාරණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
දිත්වා සුළි කුණාටු ව්‍යසනයේ පළමු වර්ෂ පූර්ණය නිමිති කරගනිමින්, මියගිය සහ අතුරුදහන් වූ ජනතාව සිහිපත් කරමින් නොවැම්බර් 26 වැනි දා බදුල්ල ඓතිහාසික මුතියංගන රජමහා විහාරස්ථානයේ පැවති ජාතික වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
ඌව පළාත් සභාව සහ බදුල්ල – මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඒකාබද්ධව මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර, එයට සමගාමීව මියගිය සහ අතුරුදහන් වූ ජනතාව වෙනුවෙන් පැවති සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායන පින්කම සඳහා ද අග්‍රාමාත්‍යතුමිය සහභාගී වූවාය. අග්‍රාමාත්‍යවරිය එහි දී දිත්වා ව්‍යසනයෙන් දිවි අහිමි වූ ජනතාව සිහිකර පුෂ්පෝපහාර දැක්වී ය.
එහිදී අග්‍රාමාත්‍යතුමිය, ඓතිහාසික මුතියංගන රජමහා විහාරස්ථානයේ භාරකාර ධූරන්දර, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරතන ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තාය.
එමෙන්ම, දිත්වා වර්ෂ පූර්ණය සිහිපත් කරමින් විශේෂ සමරු මුද්දරයක් නිකුත් කිරීම ද අග්‍රාමාත්‍යතුමිය ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම අවස්ථාව ආමන්ත්‍රණය කරමින් අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නේ දිත්වා ව්‍යසනයේ විනාශය මධ්‍යයේ පවා මෙරට ජනතාවගේ මනුෂ්‍යත්වය නොබිඳුණු බවයි.
තමන්ගේ සියලු අපහසුතා පසෙක තබා තවත් අයෙකුගේ ජීවිතයක් වෙනුවෙන් ඉදිරිපත් වෙමින් ශක්තියක් වීමට දිවයිනේ නන් දෙසින් විපතට පත් ප්‍රදේශ වෙත ආ පොදු ජනතාවගේ කැපවීම අග්‍රාමාත්‍යතුමිය ඇගයීමට ලක් කළාය.
විශේෂයෙන්ම ව්‍යසනයෙන් අඩු බලපෑමක් එල්ල වූ දිස්ත්‍රික්කවල ජනතාව මහනුවර, බදුල්ල සහ පුත්තලම වැනි දැඩි හානියට පත් ප්‍රදේශවලට පැමිණ දින ගණනාවක් රැඳී සිටිමින් ජන ජීවිත යළි ගොඩනැඟීම සඳහා කළ කැපකිරීම සිහිපත් කළ අග්‍රාමාත්‍යතුමිය, සියලු රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ මෙන්ම ස්වේච්ඡා සංවිධාන ද තම ජීවිත අවදානම පවා නොතකා ජනතාව වෙනුවෙන් ඉටු කළ සේවය කෘතවේදීව සිහිපත් කළාය.
එමෙන්ම, ගෞරවණීය මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගමික පූජකවරුන් මෙම ව්‍යසන අවස්ථාවේ විශාල ශක්තියක් වෙමින් කටයුතු කළ ආකාරය ගෞරවයෙන් සිහිපත් කළ අග්‍රාමාත්‍යතුමිය, ඓතිහාසික මුතියංගන විහාරස්ථානය හරහා විපතට පත් ජනතාව වෙනුවෙන් මේ දක්වා සිදු කළ ඉමහත් සේවයට ස්තූතිය පළ කළාය. ව්‍යසනයකදී පමණක් නොව රටේ සංවර්ධන ගමනේදී ද සියලු ජනතාව එකිනෙකා ගැන සිතමින් සාමූහිකව කටයුතු කිරීම රටක් ලෙස ඉදිරියට යාමට ඇති ප්රබලතම ශක්තිය බව ද අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.
