ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට ලක්ව සිටින හිටපු අමාත්‍ය බිරිඳ ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 11 වැනිදා පැවැත්වීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා අද (ජූලි 10) නියෝග කළේය.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් දිරීප පීරිස් මහතා විශේෂ පාර්ලිමේන්තු කමිටුවක සාක්ෂි විභාගයට පෙනී සිටින බවට කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය කල් තැබීමට නියෝග කළේය.
මෙම නඩුව පවරා ඇත්තේ එච්. චමින්ද නමැති පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගිනි.
