ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ 2025 වර්ෂයේ හදුනාගත් නව නිෂ්පාදන 07 ක් එළි දැක්වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) නාවින්න ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.
ඒ අනුව ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සිය කාර්යභාරය තවදුරටත් පුළුල් කරමින් කුබ්ජ ප්‍රසාරණී තෛලය, බලා කෝරණ්ඩ තෛලය, පංචවල්කල චූර්ණය, සංස්ථා බෝන් මැරෝ පත්තුව යන ඖෂධීය නිෂ්පාදනයන් හා පිණ්ඩ බාම්, රත්හදුන් බොඩිවොෂ්, පංචවල්කල ෂැම්පූ යන ශාකසාර නිෂ්පාදන මෙලෙස එළිදක්වනු ලැබීය.
එමෙන්ම ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ඖෂධ බෙදාහැරීමේ ක්‍රියාවලියේ දී රාජ්‍ය අංශය ප්රමුඛව කටයුතු කරන අතර, 2024 වර්ෂයේදී රාජ්‍ය අංශය විසින් සිදුකරන ලද මිල දී ගැනීම් පදනම් කරගෙන එම ආයතන ඇගයීමට ලක් කිරීම ද මෙයට සමගාමීව සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ මෙම ගෙවුණු වසර අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ආයතන ව්‍යුහයන්ගේ පදනම සකස් කර ගැනීම සහ මෙරට ආර්ථිකයේ විශේෂයෙන්ම නිෂ්පාදන ක්ෂේත්රයේ පදනම හා අඩිතාලම සකසා ගත් වසරක් වූ බවයි. පදනම ශක්තිමත් නොකර සැරසිලි සිදු කිරීමට ගියහොත් රටක් නොපවතින බවත්, සැරසිලිවල අවසන් ප්‍රතිඵල මෙරට ජනතාව පසුගිය කාලයේ මනාව අත්දැක ඇති බව මෙහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා රට ශක්තිමත් වු පසු සැරසිලි සිදු කළ හැකි බව ද පැවසීය.
