දේවින්ද පිණිදිය
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත හලාවත වැවිලි සමාගම, 2025 වසරේදී සිය ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරමින් රුපියල් මිලියන 650 ක ලාභයක් ලබාගෙන තිබේ.
මේ අනුව, 2024 වසරේ රුපියල් මිලියන 219 ක් වූ ලාභය, 2025 වසරේදී තුන් ගුණයකට වැඩි වීමක් සනිටුහන් කර ඇත. එසේම, සමාගම විසින් 2025 වසරේදී රුපියල් මිලියන 1594 ක වාර්තාගත ආදායමක්ද උපයා තිබේ.
“එක්ව දිනමු – දිරිය අගයමු” යන තේමාව යටතේ පැවති සේවක කාර්ය සාධන ඇගයීම සහ වාර්ෂික දිරි දීමනා ප්‍රදානය කිරීමේ උත්සවය, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හලාවත මිකයිලා (Mikayla Resort) පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහිදී, සමාගම ලැබූ ලාභයෙන් රුපියල් මිලියන 130 ක මුදලක් සේවක ප්‍රසාද දීමනා සඳහා වෙන් කර ඇති අතර, ඒ අනුව සේවකයින් 535 දෙනෙකු වෙත ප්‍රසාද දීමනා ප්‍රදානය කරන ලදී. සේවකයන් සඳහා රුපියල් 176,900 සිට දිරි දීමනා ලබා දීමද මෙහි විශේෂත්වයකි.
