Spread the love

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ලබාදුන් සිරදඬුවමට එරෙහිව එළැඹෙන සතියේ අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකරන බව ඇයගේ නීතිඥයින් සඳහන් කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණය අද (28) බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් නියම කළේය.

ඒ, 2015 දී තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙනි.

ඒ අනුව, විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය චෝදනා 18කට වරදකාරිය කෙරුණු අතර එම එක් එක් චෝදනාවට රුපියල් විසිදහස බැගින් දඩ නියම කෙරුණි.

2015 වසරේ දෙසැම්බර් 21වැනිදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කරමින් සිටි අමිල ප්‍රියංග නම් තරුණයෙකුව ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් සාපරාධී බිය ගැන්වීමක් කළ බවට එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්ව සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට සහ ඇගේ පෞද්ගලික ආරක්ෂකයින්ට චෝදනා එල්ල වුණි.

ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු මූලික විමර්ශනයකින් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට සහ ඇගේ පෞද්ගලික ආරක්ෂකයින් 08 දෙනෙකුට නීතිපතිවරයා චෝදනා 29ක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකළේය.

අධිචෝදනා පත්‍රයේ වූ චෝදනා අතරට අයුතු ලෙස සිරකිරීමේ අදහසින් පැහැරගැනීම, අයුතු ලෙස සිරකරගැනීම පොදු අරමුණ කරගත් නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම, පැහැරගෙන යාම, ඊට ආධාර අනුබලදීම සහ සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා අයත්ය.

කෙසේ වෙතත් අධිචෝදනා පත්‍රය සලකා බැලුණු මුල් අවස්ථාවේදීම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආරක්ෂකයින් 08 දෙනා වරද පිළිගත් අතර ඔවුන්ට වසර 12ක අත්හිටවූ සිරදඬුවමක් සහ රුපියල් 165,000 බැගින් වූ දඩ නියම කෙරුණි.

නමුත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන්ට එරෙහිව ගොනුකර තිබු අධිචෝදනා සම්බන්ධයෙන් නිවැරදිකරු බව පැවසීම හේතුවෙන් ඇයට එරෙහිව පමණක් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ නඩු විභාගය සිදුකෙරුණි.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා සඳහන් කළේ විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇයට එරෙහිව ගොනුකර තිබු අධිචෝදනා පත්‍රයේ සඳහන් වූ චෝදනා 18කට වරදකරු බවය.

චූදිත තැනැත්තියට දඬුවම් නියම කිරීමට පෙර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා විවෘත අධිකරණය හමුවේ දේශනයක් සිදුකළේය.