Spread the love

10වන පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා හෙට (21) පෙරවරු 9.00 වනවිට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය.

බ්‍රහස්පතින්දා පෙරවරු 10.00ට 10වන පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම පැවැත්වීමට නියමිත ය.

පාර්ලිමේන්තුව කරා පැමිණීමෙන් පසු මන්ත්‍රීවරුන්ගේ රථ පොලිස් නිලධාරීන් නියමිත රථගාලට යොමුකරන බවත් අනතුරුව මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ප්‍රවේශ ශාලාවට පැමිණ ඝනපූර්ණ සීනුව නාදකරන තෙක් එහි රැඳීසිටිය යුතු බවත් මහලේකම්වරිය දැනුම් දී තිබුණාය.

මෙලෙස පැමිණෙන මන්ත්‍රීවරුන් ඔවුන්ගේ කාලත්‍රයා සමග පැමිණෙන්නේ නම් පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩල ප්‍රවේශ ද්වාරය අසලදී සිය රථ වාහනවලින් බැසිය යුතු අතර අනෙකුත් මන්ත්‍රීවරුන් මන්ත්‍රී ප්‍රවේශ ද්වාරය අසලදී සිය රථවලින් බැසිය යුතුය. 

මේ අතර නව පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අදත් (20) තොරතුරු කවුළුවක් ස්ථාපිත කර තිබෙන පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය පැවසුවාය…

එහිදී සියලු මන්ත්‍රීවරුන්ට ප්‍රයෝජනවත් වන තොරතුරු ලිපි ලේඛන සැපයීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීම සහ විද්‍යුත් ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළ ඇඟිලි සලකුණු ලබා ගැනීමේ කටයුතු සිදුකිරීමට නියමිතය.