Spread the love

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේ සමාරම්භය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Tedros Adhanom Ghebreyesus මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සමාජික රටවල් 194 ක සෞඛ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (18) ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානයේ දී සිදුවිය.

ඩොමිනිකන් ජනරජයේ වෛද්‍ය වික්ටර් එලියාස් අටල්ලා ලජාම් මෙම සෞඛ්‍ය සමුළුවේ සභාපති ලෙස තේරී පත් විය.

සත්කාරක රට වෙනුවෙන් ස්විට්සර්ලන්ත ෆෙඩරල් මන්ත්‍රීවරිය වන එලිසබෙත් බෝමේ-ෂ්නයිඩර් සෞඛ්‍ය සමුළුව ඇමතූ අතර, ඉන් අනතුරුව ඝානාවේ ජනාධිපති සහ විශේෂ ආරාධිත අමුත්තා වන අතිගරු ජෝන් ඩ්‍රමානි මහමාගේ මහතා ඇතුළු පිරිස මෙහි දී අදහස් පළ කරන ලදී.

“One world for Health” යන තේමාව මුලික කර ගනිමින් ආරම්භ වූ 79 වන ලෝක සෞඛ්‍ය (WHA79) සමුළුවට සමගාමීව, ළමා පිළිකා මර්දනය “Childhood Cancer Survivorship” සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය මුලපිරීම (WHO Global Initiative for Chikdhood Cancer – WHO GICC) විසින් සංවිධානය කරන ලද විශේෂ සැසිය ඊයේ (18) ජිනීවා හිදී පැවැත්විණි.

“Measuring survival, driving change – Advancing equity through the WHO Global Initiative for Childhood Cancer” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම සැසියේ ප්‍රධාන අරමුණ වූයේ 2030 වන විට ලොව පුරා ළමා පිළිකා රෝගීන්ගේ දිවි ගලවා ගැනීමේ අනුපාතය අවම වශයෙන් 60% දක්වා ඉහළ නැංවීමයි.

මෙම සැසියේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ළමා පිළිකා පිළිබඳ නවතම ගෝලීය වාර්තාව වන “Measuring survival, driving change” වාර්තාව එළිදැක්වීම ප්‍රකාශයට පත් කරන ලද අතර, ලොව ප්‍රථම වතාවට රටවල් මට්ටමින් ළමා සහ නව යොවුන් වියේ පසුවන්නන්ගේ lymphoid leukaemia (ලියුකේමියා) රෝගය සඳහා වසර 5 ක දිවි ගලවා ගැනීමේ අනුපාතයන් මෙම වාර්තාව මගින් ගණන් බලා ඇත. එමගින් විවිධ රටවල් අතර පවතින දත්ත පද්ධතිවල හිඩැස් සහ සෞඛ්‍ය අසමානතාවන් පැහැදිලිව පෙන්වා දී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය සමුළුවේ සභාපතිවරයා ලෙස මෙන් ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ද වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙවර සමුළුවට සහභාගී වෙමින් ප්‍රධාන සමුළුවට සමගාමීව පැවැති මෙම සැසිවාරය ඊයේ (18) අමතනු ලැබීය.

පිළිකා කලින් හඳුනා ගැනීම, ප්‍රතිකාර ක්‍රම සහ සහායක සත්කාරයේ දියුණුව හේතුවෙන්, ලොව පුරා පිළිකාවෙන් ජීවිතය රැක ගන්නා දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම ගෝලීය විශිෂ්ට ජයග්‍රහණයක් බව මෙම සැසියේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙන ලදි

ළමා පිළිකා සම්බන්ධයෙන් සාර්ථකත්වයේ සැබෑ මිනුම වන්නේ කොපමණ දරුවන් ජීවිතය රැකගන්නේද යන්න පමණක් නොවන බවත් ඔවුන් ජීවත් වන ආකාරය අනුව බවත්, පිළිකාවෙන් ජීවිතය ජයගත් සෑම දරුවෙකුටම සොඛ්‍ය සම්පන්න, ගෞරවනීය, ඵලදායී සහ අංග සම්පුර්ණ ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලබාදීම සියලු දෙනාගේ සාමුහික වගකීමක් බව ද අමාත්‍යවරයා මෙම සැසිය අමතමින් අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකාව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ, ජාත්‍යන්තර හවුල්කරුවන්, සෞඛ්‍ය වෘත්තිකයන්, සිවිල් සමාජ සංවිධාන සහ survivorship ප්‍රජාවන් සමඟ සමීපව කටයුතු කරමින් ළමා පිළිකාවෙන් ජීවිතය රැකගත් දරුවන් සඳහා ජීවිත කාලය පුරාවටම සත්කාර සේවාවන් ශක්තිමත් කිරීමට දැඩිව කැපවී සිටින බවත්, ශ්‍රි ලංකාවේ ජාතික සෞඛ්‍ය පද්ධතිය, “සියලු දෙනාට නොමිලේ සෞඛ්‍ය සේවා සැපයීමේ මූලධර්මය මත ගොඩනැගී ඇති බැවින් පිළිකා හඳුනාගැනීම, ප්‍රතිකාර, පසු විපරම් සත්කාර, පුනරුත්ථාපනය සහ මානසික සමාජීය සහාය සඳහා සාධාරණ ප්‍රවේශයක් ලබාදීමට ශක්තිමත් පදනමක් සපයන බව ද අමාත්‍යවරයා පැවසීය.

ළමා පිළිකාවෙන් ජීවිතය ජයගත් දරුවන් සඳහා වන රැකවරණය රෝහල් වලට පමණක් සීමා නොවී, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, පාසල්, පවුල් සහ ප්‍රජාවන් සමඟ සම්බන්ධ වූ අඛණ්ඩ සත්කාර පද්ධතියක කොටසක් විය යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

ළමා පිළිකාවෙන් ජීවිතය රැකගත් දරුවන්ට හෘදය ආශ්‍රිත සංකූලතා, අන්තරාසර්ග ගැටලු, ඉගෙනීමේ අපහසුතා, මානසික සෞඛ්‍ය ගැටලු, ප්‍රජනන සෞඛ්‍ය ගැටලු මෙන්ම සමාජීය හා ආර්ථික අවදානම් වැනි දිගුකාලීන හා ප්‍රමාදිත ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව ද මෙම අභියෝගයන්ට මුහුණ දීමට බහු විෂය ක්ෂේත්‍ර සහිත, රෝගියා කේන්ද්‍ර කරගත් සහ ජීවන පුරාම දිවෙන ප්‍රවේශයන් අවශ්‍ය වන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබීය.

ඒ අනුව, ශ්‍රී ලංකව ළමා පිළිකා වෙන් ජීවිත රැකගත් දරුවන් සඳහා සංවිධානාත්මක පසු විපරම් සේවාවන් ශක්තිමත් කිරීමට ළමා පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් හරහා කටයුතු කරමින් සිටින බව ද ළමා වියේ සිට යොවුන් වියටත්, වැඩිහිටි වියටත් අඛණ්ඩ සත්කාරයක් සහතික කිරීම ඉලක්කය බව ද පැවසීය.

ප්‍රජා සෞඛ්‍ය පද්ධතිය ද මෙහි දී වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ද වෛද්‍ය නිලධාරී සෞඛ්‍ය සේවා, මහජන සෞඛ්‍ය හෙද සේවා, ප්‍රජා මට්ටමේ මාතෘ හා ළමා සෞඛ්‍ය වැඩසටහන් සහ නව ව්‍යාපෘතියක් වන ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන හරහා ජීවිත රැකගත් දරුවන්ට සහාය සැපයීමට ශ්‍රී ලංකාව පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.

ප්‍රජා මට්ටමේ පසු විපරම්, සෞඛ්‍ය අධ්‍යාපනය, මානසික සමාජීය උපදේශනය, පෝෂණ උපදෙස් සහ පාසල් හා සමාජයට නැවත එක්වීම ශක්තිමත් කිරීම පිළිබඳව තවදුරටත් කරුණු සොයා බලන බවත්, මෙම උත්සාහයේදී ඩිජිටල් සෞඛ්‍ය හා සෞඛ්‍ය තොරතුරු පද්ධති වඩාත් වැදගත් වෙමින් පවතින බව ද පැවසීය.

ළමා පිළිකා පිළිකා පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය වැඩසටහන සමඟ ශ්‍රී ලංකාව පවත්වාගෙන යන හවුල්කාරිත්වය ඉතා අගය කරන බව ද මෙම වැඩසටහන මඟින් ජීවිත රැකීම වැඩිදියුණු කිරීම, සෞඛ්‍ය සේවයේ අසමානතා අවම කිරීම සහ සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම සඳහා රටවල් වලට වැදගත් මාර්ගෝපදේශයක් ලබාදෙන බවත්, මෙම ගෝලීය වැඩසටහන තුළ ශ්‍රී ලංකාවේ පිළිකාව කලින් හඳුනාගැනීම, ප්‍රමිතිකරණය කළ ප්‍රතිකාර, මානව සම්පත් සංවර්ධනය, ගුණාත්මක සත්කාර සහ survivorship සේවා ශක්තිමත් කිරීමේ ශ්‍රි ලංකාවේ උත්සාහයන්ට සහාය වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

2018 වසරේ ආරම්භ කළ WHO GICC වැඩසටහන මේ වන විට ලොව පුරා රටවල් 87 ක ක්‍රියාත්මක වන බවත් ඉන් රටවල් 50 ක්ම ළමා පිළිකා මර්දනය තමන්ගේ ජාතික සෞඛ්‍ය උපාය මාර්ගවලට ඇතුළත් කර ඇති බවත් 2025 වසරේ පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඉහළ මට්ටමේ ප්‍රකාශනයට ද ළමා පිළිකා සහ මානසික සෞඛ්‍ය යන කරුණු ඇතුළත් කරමින් ගෝලීය අවධානය දිනා ගැනීමට මෙම මුලපිරීම සමත් වී ඇති බව මෙම සැසියේ දී අනාවරණය විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඡේෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙවර සමුළුවට සහභාගී වී සිටී.