..නිමල් රාජපක්ෂ-
ශ්රී ලංකා ඉංජිනේරු ආයතනය සංවිධාන කරන 38 වන ජාතික ඉංජිනේරු සහ තාක්ෂණ ප්රදර්ශනය – ටෙක්නො 2026 “ස්ථාවර ජාතියක් සඳහා ඉංජිනේරු විද්යාව” තේමා කර ගනිමින් විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන ගේ ප්රධානත්වයෙන් අද දින (16) බණ්ඩාරනායක ජාත්යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී ආරම්භ කෙරිණි. ප්රදර්ශනය 18 වන දින දක්වා පැවැත්වේ.
මෙය නවතම තාක්ෂණික දියුණුව ප්රදර්ශනය කරන, දේශීය මෙන්ම විදේශ කර්මාන්තකරුවන්ට, ව්යවසායකයින්, නවෝත්පාදන ක්ෂේත්රයේ විශිෂ්ඨයින්ට තම නිෂ්පාදන සහ සේවාවන් ප්රදර්ශනය කිරීමට අවස්ථාව සලසන ශ්රී ලංකාවේ එකම සහ දීර්ඝතම ඉංජිනේරු සහ තාක්ෂණ ප්රදර්ශනයයි.
ස්ථාවර ජාතියක් ගොඩනැඟීම ශ්රී ලංකාවේ තිරසාර සංවර්ධනයට සහ අනාගත ස්ථාවරත්වයට අත්යවශ්ය වේ. මතුවන අභියෝග හමුවේ ආර්ථික පද්ධති, යටිතල පහසුකම්, බලශක්ති ආරක්ෂාව, පාරිසරික තිරසාරභාවය සහ ජාතික සූදානම ශක්තිමත් කිරීමෙහිලා ඉංජිනේරු විද්යාව මධ්යම මෙහෙවරක් ඉටු කරයි. ‘ටෙක්නෝ 2026’ (Techno 2026) ප්රදර්ශනය, ජාතික ස්ථාවරත්වය ඉහළ නංවන ඉංජිනේරු විසඳුම් ප්රදර්ශනය කිරීමට, අදහස් හුවමාරු කර ගැනීමට සහ හවුල් වීමට කර්මාන්ත, ශාස්ත්රීය ක්ෂේත්රය, ප්රතිපත්ති සම්පාදකයින්, වෘත්තිකයන් සහ නවෝත්පාදකයින් ඇතුළු ප්රධාන පාර්ශ්වකරුවන් සඳහා සහයෝගීතා වේදිකාවක් සපයයි.
සෑම වසරකම මෙම ප්රදර්ශනයට අති විශාල ජනතා සහභාගිත්වයක් හිමිවන අතර ඔවුන්ගෙන් බහුතරය ඉංජිනේරුවන්, විශ්ව විද්යාල උපාධිධාරීන් සහ පාසල් සිසුන් වීම විශේෂිතය. ඉංජිනේරු ක්ෂේත්රය හා සම්බන්ධ වාණිජ කුටි ඇතුළු, මෙරට රාජ්ය හා පෞද්ගලික විශ්ව විද්යාලයන්හි ඉංජිනේරු පීඨ සඳහා වෙන් වූ කුටි මෙහි අන්තර්ගත වී තිබේ. පාසල් සිසුන්ගේ සිට විවිධ මට්ටම්වලින් නවෝත්පාදනයන් ප්රදර්ශනය කිරීමට සහ ප්රවර්ධනය කිරීමට විශාල ඉඩ ප්රස්ථාවක් ලබාදීමට මෙම ප්රදර්ශනය තුළින් කටයුතු කර තිබීම විශේෂත්වයකි.
මෙහි දී අදහස් දැක්වූ විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන මෙසේ පැවසීය.
“ඵලදායී විද්යා, තාක්ෂණ සහ නවෝත්පාදන පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම තුළින් පර්යේෂණ ජාතික ප්රමුඛතා සමඟ සම්බන්ධ කිරීමත්, නව අදහස් රසායනාගාරවලින් කර්මාන්ත වෙත ගෙන යාමත් අපේ අරමුණයි. විද්යාව හා තාක්ෂණය පදනම් කරගත් නව නිපැයුම් සහ ව්යාපාර දිරිගැන්වීමටත්, විද්යාත්මක ප්රගතියේ ප්රතිලාභ රට පුරා සිටින ජනතාව වෙත ළඟා කිරීමටත් රජය බලාපොරොත්තු වෙනවා. ඉංජිනේරු විද්යාව මේ සියල්ලේ මධ්යයේ පිහිටා ඇති බැවින් අරමුණු ජය ගැනීමට ශ්රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) හවුල්කාරීත්වය විශාල ශක්තියක් වෙනවා”
මෙම අවස්ථාවට විද්යා හා තාක්ෂණ අමාත්යාංශ ලේකම් ආචාර්ය රෝෂණී දිසානායක, ශ්රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති ඉංජිනේරු කෝසල කඹුරාදෙනිය, තේරී පත්ව ඇති සභාපති ඉංජිනේරු ප්රබෝධ ජිනසේන, යන මහත්වරුන් IESL කවුන්සිලයේ සාමාජිකයින් සහ හිටපු සභාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
