ශ්‍රී ලංකාවට ආනයනය කරන සහ මෙරට නිෂ්පාදනය වන අල, ලූනු ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඇතුළු සියලු තොරතුරු ඇතුළත් නව ඉලෙක්ට්‍රොනික වේදිකාවක් නිර්මාණය කිරීමට අදාළ පූර්ණ යෝජනාවලියක් සති තුනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාඨලි චම්පික රණවක මහතා මැයි 08 වන දා එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී පැවසීය.
ඇතැම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වූ මිලට වඩා විශාල වශයෙන් වැඩි මිලකට මෙරට පාරිභෝගිකයාට විකිණීම සිදුවන බැවින් ඒ සදහා මෙම විවෘත ඩිජිටල් වේදිකාව ඉතා හොද විසඳුමක් බව ද කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී අදාළ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ප්‍රවීණයන් වන හසිත අබේවර්ධන මහතා සහ නලින්ද ජයවර්ධන මහතා මේ පිළිබඳව කාරක සභාවේදී පැහැදිළි කිරීමක් (Presentation) සිදුකළ අතර මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රේගුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් මෙන්ම තොග/ ආනයන වෙළෙඳ සංගම් නියෝජිතයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ද කැඳවා තිබිණ.
ලෝකයේ රටවල් ගණනාවක මෙම ක්‍රමය සාර්ථකව භාවිතා වන බවත් විශේෂයෙන් ඉන්දියාවේ මෙම ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වන බවත් මෙහිදී අනාවරණය විය. එමගින් පාරිභෝගික සුබසාධනය සැපිරෙන අයුරින්, ඩිජිටල් කාර්යක්ෂම යාන්ත්‍රණයක් මගින් අල ලූනු පරිප්පු ඇතුළු සියලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල පවතින අවශ්‍යතාව, එම ආහාර ද්‍රව්‍ය මෙරට නිෂ්පාදනය සහ ආනයනය කළ යුතු ප්‍රමාණයන් පිළිබඳ සියලු දත්ත විවෘත වේදිකාවකට ගනු ලබන අතර විනිවිදබවකින් යුතුව තරඟකාරිව ඒවා ආනයනය කිරීමට ද මේ හරහා ආනයනකරුන්ට ද අවස්ථාව හිමිවේ. එසේම ආනයනයෙන් අනතුරුව මෙම ආහාර ද්‍රව්‍ය තොග වෙළෙන්දන් අතරමැදියන් සහ සිල්ලර වෙළෙන්දන් යන සියලු දෙනා අතට පත්වන මිල ගණන් ඇතුළු සම්පූර්ණ දත්ත මේ අනුව සියලු ජනතාවට විවෘත වන බවද අනාවරණය විය.
එබැවින් මෙම ක්‍රමය හරහා පාරිභොගිකයාට තමා විසින් මිලදී ගනු ලබන ආහාර ද්‍රව්‍ය මෙරටට ගෙන්වූ මිල ඇතුළු සියලු විස්තර දැනගැනීමේ හැකියාව ලැබේ.
මෙහිදී යෝජිත අත්‍යවශ්‍ය භාණ්ඩ කොමිෂන් සභාව අදාළ සියළු රාජ්‍ය ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත පූර්ණ බලැති කොමිසමක් ලෙස ස්ථාපිත කිරීමට යෝජනා කෙරෙන අතර, විවෘත ක්‍රමයක් යටතේ සාධාරණ ලාභයක් ආනයනකරුවන් සහ වෙළෙඳුන් වෙත ලැබෙන පරිදි වෙළෙඳපොළ සහ අනෙකුත් ක්‍රියාකාරීත්වයන් සළකා බලා ක්‍රියාත්මක කෙරෙන යාන්ත්‍රණයක් සැකසීම සිදුවේ. එසේම දැනට ක්‍රියාත්මක බලපත්‍ර ක්‍රමය, විවෘත වෙළෙඳපොළ ක්‍රමයක් තුළ අසාර්ථක බවත්, එමගින් ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා බලපෑමක් සිදුවන බවත් ආනයනකරුවෝ පෙන්වා දුන්හ.
