හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ ජල සැපයුම විසන්ධි කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව හිඟ මුදල් නොගෙවීම මත, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පදිංචිව සිටි නිල නිවස ආසන්නයේ ඇති වෙනත් ස්ථානයක ජල සැපයුම විසන්ධි කර ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
මෙම ස්ථානයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයේ නිලධාරීන් නේවාසිකව සිට ඇති අතර, 2024 ඔක්තෝම්බර් මාසයේදී ඔවුන් ඉන් ඉවත්ව ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම ස්ථානයේ ඇති ජල සැපයුමෙන් හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂක නිලධාරීන් හෝ හිටපු ජනාධිපතිතුමා ජලය පරිහරණය නොකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.
මීට පෙර මෙම ස්ථානයේ ජල ගාස්තු ගෙවීම් කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බවත්, හිග මුදල් නොගෙවීම නිසා අදාළ ස්ථානයේ ජල සැපයුම විසන්ධි කළ බවත්, ඒ වනවිට අය විය යුතු හිඟ මුදල රුපියල් 429,000ක් පමණ වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

