ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්දු මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරේ, ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතරේ යළිත් වරක් භූමි සම්බන්ධතා ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කෙරුණු නමුත්, ශ්‍රී ලංකා රජය මෙතෙක් ඒ ගැන කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව ඬේලි මිරර් වාර්තා කරයි.
2002 වසරේ දී, එවකට පැවැති ශ්‍රී ලංකා රජය ද, ඉන්දියාවේ තමිල්නාඩුවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාර අතර භූමි පාලමක් ඉදි කිරීම සම්බන්ධයෙන් යෝජනාවකට අදාළව සාකච්ඡා පවත්වා තිබුණි. ඒ රාම් සේතු හෙවත් ආදම්ගේ පාලම මුල්කර ගනිමිනි. ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව තෙක් දුම්රිය මාර්ගයක් පිහිටුවීම කෙරෙහි ද එම අවස්ථාවේ දී අවධානය යොමු විය.
ඉන් අනතුරුව යළිත් වරක් දෙපාර්ශ්වයම එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළ අතර එය පසුගිය රජය සමයේ නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයට පවා ඇතුළත් විය. ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා සිය පළමු විදෙස් සංචාරය ලෙස තෝරා ගත්තේ ඉන්දියාවය. එම ඉන්දීය සංචාරයේ දී, ජනපති කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේත්, ඉන්දීය ජනාධිපතිනි දෞපදී මුර්මු අතරේත් සාකච්ඡා පැවැත්වුණු නමුත් ඉන්දු ශ්‍රී ලංකා, භුමි සම්බන්ධතා ව්‍යාපෘතියක් ගැන එහිදී සාකච්ඡා පැවැත්වීමක් සිදු නොවුණු බව පැවැසෙයි.
පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ එම සංචාරය අතරතුරේ ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතරේ යළිත් වරක්, භූමි සම්බන්ධතා ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වුණු නමුත්, ශ්‍රී ලංකා රජය ඊට කිසිඳු ආකාරයකින් ක්ෂණික ප්‍රතිචාර දැක්වීමක් කර නොමැති බව ඩේලිමිරර් පුවත්පත වැඩි දුරටත් පෙන්වා දෙයි. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පසුගිය 4 වැනිදා මෙරට නිල සංචාරයක් සඳහා පැමිණියේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඇරියුමකට අනුවය.
අග්‍රාමාත්‍ය මෝදී එම නිල සංචාරය අවසන් කරමින් ඉන්දියාව බලා ගියේ අනුරාධපුරයේ සිට විශේෂ ගුවන් යානයකිනි. එසේ ඉන්දියාව බලා යන අතරතුරේ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉන්දියන් සාගරය පසු කළේ ගුවනේ සිට රාම් සේතු පාලමට අයත් යැයි පැවැසෙන ස්වාභාවික හුණුගල් පෙළ නරඹමිනි.
ඉන්දියාවේ තමිල්නාඩුවට ගිය අග්‍රාමාත්‍ය මෝදි ප්‍රතිසංස්කරණය කරමින් ඉදිකළ පම්බන් පාලම විවෘත කළේය. පම්බන් යනු ඉන්දියාවේ පළමු මුහුදු පාලම බව පැවැසෙයි. සම්බන් පාලමට කිලෝ මීටර් 2,065 ක් දිග දුම්රිය පාලමක් සහ මාර්ග පාලමක් ඇතුළත් වෙයි. ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත්තේ, පම්බන් පාලම සහ දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාව තෙක් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජයේ අවධානය යොමු වී ඇති බවය. මීට අමතරව ඉන්දු ලංකා යෝජිත ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම යටතේ පමණක් ඇඟලුම් අපනයන කෝටාව මිලියන 50 දක්වා වැඩි කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඉල්ලීම සලකා බැලීමට ඉන්දීය රජය සූදානම් බව ද ඩේලිමිරර් පුවත්පතපෙන්වා දෙයි.
විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පෙන්වා දී ඇත්තේ, ඉන්දු – ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ අපනයනය කිරීම සඳහා පවතින මිලියන 8 ක කෝටාව මිලියන 50 දක්වා පුළුල් කරන මෙන් ශ්‍රී ලංකා රජය, ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර ඇති බවය.