Spread the love

නීති විරෝධී මත්ද්‍රව්‍ය තුරන්කිරීම සඳහා ක්‍රියාත්මක මෙහෙයුම් වල දී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නඩු කටයුතු අවසන් වු හෙරොයින් කිලෝ 494යි ග්‍රෑම් 48ක තොගයක් අද (28) උදෑසන 10.00ට පුත්තලම පාලවිය ප්‍රදේශයේ INSEE සිමෙන්ති සමාගමට අයත් දහන උඳුනක දී විනාස කරනබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසයි.

ඒ අනුව අද උදැසන 7ට මහාධිකරණයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා පොලීසිය විසින් භාරයට ගෙන අධි ආරක්ෂාව යටතේ පුත්තලම, පාලවිය ප්‍රදේශයට රැගෙන යාමට නියමිත බවය පොලීසිය පැවසුවේය.

එම මත්ද්‍රව්‍ය තොගයේ එක් කොටසක් 2021.12.15 වනදා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් එක්ව සිදුකරන ලද වැටලීමකදී විදෙස් ජාතිකයින් 6 දෙනෙකු සන්තකයේ තිබී අත්අඩංගුව ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 250 ග්‍රෑම් 996 කි.

අනෙක් කොටස 2022.04.19 වනදා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය එක්ව සිදුකරන ලද වැටලීමකදී විදෙස් ජාතික සැකකරුවයන් 07 දෙනෙකු සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් කිලෝ 243 ග්‍රෑම් 052 ක් බව සඳහන් වේ.

මෙරටින් නීති විරෝධී මත්ද්‍රව්‍ය තුරන්කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොලීසිය දෛනිකව මෙහෙයුම් සිදුකරනු ලබයි.