Spread the love

වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් හා සේවක හමුවක් සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාතය කේ.ඩී. ලාල් කාන්ත මහතා සහභාගී විය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට සහ කරගෙන යන ව්‍යාපෘති පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම, අමාත්‍යවරයාගේ වාරි මාර්ග දෙපාර්තමේන්තු පළමු පැමිණීම වශයෙන් මෙම අවස්ථාව සූදානම් කර තිබුණි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ කෘෂිකර්‌මාන්තය වෙනුවෙන් විශාල දායකත්වයක් සපයන විශේෂම දෙපාර්තමේන්තුවකි. ඇල මාර්ග, ගංගා, වැව් විශාල ප්‍රමාණයක් වාරි මාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතී.

මේවා නඩත්තු කරමින් වැඩි දියුණු කරමින් ජලය සැපයීමේ ප්‍රධානතම වගකීම දෙපාර්තමේන්තුව සතුව පවතින නිසා ජනතාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු කිරීම අවිවාදයෙන්ම පිළිගත යුතුය.

මෙහිදී අමාත්‍යවරයා විශේෂ අදහස් කිහිපයක් ඉදිරිපත් කළේය.

” දේශපාලන බලයක් අපිට ලැබෙයි කියලා හිතපු නැති කාලේ වැව්තාවුලු වල ඇවිදින කොට අපි කතා කරපු දෙයක් තමයි, කවදාහරි මේ වැව් වල තාවුල්ල පිලිසකර කරන්න ඕනා කියන එක. දෛවයෙන් ලැබුන දෙයක් වගේ මම දැන් කැබිනට් ඇමතිවරයා වෙලා මට කැබිනට් පත්‍රිකාවක් එනවා මේ ලඟදී දවසක වැව්තාවුලු ප්‍රතිසංස්කරණයට කැබිනට් පත්‍රිකාවකට අත්සන් කරන්න. මම ඒක ඉතාම ආසාවෙන් කරපු වැඩක්. ඒ කැබිනට් පත්‍රිකාව ලබාදුන් නිලධාරියාට බොහොම ස්තූතියි. මගේ ජීවිතයේ වැව් සම්බන්ධව තියෙන්නේ සුන්දර අත්දැකීම් ගොඩක්. මම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා මේවා විනාශ වෙන්න නොදී අනාගත පරම්පරාවට දායක කරන්න කැපවීමෙන් වැඩ කරන්න කියලා. මේවා රැකගන්න තරාතිරම් නොබලා කටයුතු කරන්න අපි හැමෝම සූදානම්.”

මෙම සාකච්ඡාව වෙනුවෙන් වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර මහතා, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා ඇතුලු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් සමඟ ඉහළ නිලධාරීන් සහ සේවකයින් සහභාගී විය.