Spread the love

කිලිනොච්චිය, ඩෙවිල්ස් තුඩුව වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ කුළුබඩු, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු නාවික හමුදා භාරයට ගනු ලැබීය.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය මඟින් කිලිනොච්චිය, ලොග්ගන්නාවාඩිය, ඩෙවිල්ස් තුඩුව වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, වෙරළ ප්‍රදේශයේ තිබූ සැකකටයුතු කැබ් රථ දෙකක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි.

එහිදි එම කැබ් රථ දෙකෙහි අසුරා තිබූ නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ එනසාල් කිලෝග්‍රෑම් 300ක්, කහ කුඩු කිලෝග්‍රෑම් 260ක්, වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 273ක් ඇතුළු කුළුබඩු තොගයක් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය හා ඖෂධ තොගයක් සමඟ එම කැබ් රථ දෙකද සැකකරුවන් සිව් දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 39 සහ 49 අතර වයසේ පසුවන එරක්කන්ඩි, ක‍ල්මුනෛකුඩි, ත්‍රිකුණාමලය සහ පුත්තලම යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන් බවට හදුනාගෙන ඇත.

තවද, නාවික හමුදා භාරයට ගත් එම සැකකරුවන් සිව් දෙනා සමඟ කුළුබඩු, රූපලාවන්‍ය ද්‍රව්‍ය, ඖෂධ තොගය සහ කැබ් රථ දෙක ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේ රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.