Spread the love

නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව පසුගිය දෙසතිය තුල (2025 ජුලි 23 සිට ජුලි 31 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය, කිමිදුම් උපකරණ සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයන් විසි දෙදෙනෙකු (22) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05) සහ පොලීසිය හා එක්ව සිදුකළ මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කළ තහනම් ධීවර දැල් දෙසිය දහයක් (210) සමඟ එක් සැකකරුවෙක් (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු සමත්විය

ඒ අනුව, ත්‍රීකුණාමලය කොඩ්බේ, කුඹුරුපිඩ්ඩි, කින්නියා, ප්ලෑග් ස්ටාෆ් පොයින්ට්, මූතූර් සහ මන්නාරම කකරතිව් යන වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර නාවික විධානය සහ උතුරු මැද නාවික විධානය මඟින් සිදුකල මෙම මෙහෙයුම් මඟින් තහනම් ධිවර දැල්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සහ කිමිදුම් කටයුතු සිදුකරමින් නීති විරෝධීව ධීවර කටයුතු සිදුකල සැක‍කරුවන් විසි දෙදෙනෙක් (22) සහ ඩිංගි යාත්‍රා පහක් (05) සමඟ තහනම් ධීවර දැල් හයක් (06) මෙලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමට ක‍ටයුතු කෙරිණි.

එමෙන්ම, නැගෙනහිර නාවික විධානය මඟින් කන්තලේ පොලීසිය හා එක්ව කන්තලේ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කළ තහනම් ධීවර දැල් දෙසිය දහයක (210) ප්‍රමාණයක් සමඟ එක් සැකකරුවෙකු (01) 2025 ජුලි මස 23 වැනි දින අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම් මඟින් නීතියේ රැහැනට හසුකරගත් සැකකරුවන් තහනම් ධිවර ආම්පන්න සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය, කොඩ්බේ, මන්නාරම ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත සහ කුච්චවේලි හා කන්තලේ පොලිස් ස්ථාන වෙත භාරදීමට කටයුතු කෙරිණි