Spread the love

නිමල් රාජපක්ෂ


ශ්‍රී ලංකාවේ නිල සංචාර‍යක් සඳහා පසුගියදා ( 21 ) දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් දිනේෂ් කේ ත්‍රිපාති (Admiral Dinesh K Tripathi), අද ( 22) උදෑසන නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
ඒ අනුව, සිව් දින (04) නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදා ප්‍රධානී සහ එම මැතිණිය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී පිළිගැනිම, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන විසින් සිදු කෙරිණි.
අද උදෑසන නාවික හමුදා මූලස්ථානයට පිවිසි ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් දිනේෂ් කේ ත්‍රිපාති වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උත්තමාචාරය පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, නාවික හමුදා මූලස්ථානය වෙත උණුසුම් අයුරින් පිළිගැනීම සිදුකෙරිණි.
ඉන්දීය නාවික හමුදා ප්‍රධානී සහ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති අතර නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරුණු මෙම නිල හමුවේදී, දෙරටේ නාවික හමුදාවන්ගේ සහයෝගීතාවය වර්ධනය කිරීම සහ දිගුකාලීන මිත්‍රත්වය වර්ධනය කිරීම වැනි ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද පිළිසඳරක් පැවැත්විණි.
එමෙන්ම, සමුද්‍රීය ආරක්‍ෂාව සහ කලාපීය ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා සාමූහික ප්‍රවේශයකින් කටයුතු කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් දෙරටේ නාවික හමුදා ප්‍රධානීන් විසින් එහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, එම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.
තවද, මෙම නිල සංචාරයේදී ඉන්දීය නාවික හමුදා ප්‍රධානී විසින් ශ්‍රී ලංකා රජයේ ප්‍රධානීන් සමඟ සහ ආරක්‍ෂක ප්‍රධානීන් සමඟ නිල හමුවීම් සිදුකිරීමට නියමිතව ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 12 වැනි වරට සංවිධානය කරනු ලබන ගාලු කථිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය – 2025 සඳහා සහභාගීවීමෙන් පසුව, මේ මස 25 වැනි දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.