Spread the love

නිමල් රාජපක්ෂ 

ලෝක විද්‍ය දිනය නොවැම්බර් 10 අද දිනට යෙදී තිබේ. ඊට සමගාමීව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් සංවිධාන කළ ජාතික විද්‍යා දින සැමරුම සහ ජාතික විද්‍යා සතිය ආරම්භ කිරීම විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී සිදු කෙරිණි.
“විශ්වාසය ගොඩනංවමින් පරිවර්තනීය යුගයක් කරා: ශ්‍රී ලංකාවේ හෙට දවස උදෙසා විද්‍යාව” මෙවර විද්‍යා සතියේ තේමාවයි.

විද්‍යාව ප්‍රචලිත කරමින් විද්‍යා සාක්ෂරතාව ඉහල නැංවීම වෙනුවෙන් නවීන විද්‍යාවන් පර්යේෂණ සහ නවෝත්පාදන ඇතුළු ලොව නැගී එන තාක්ෂණික ධාරාවන් පිළිබඳ දැනුම හා අවබෝධය ව්‍යාප්ත කර ජනතාවට සමීප කරවීමේ වැදගත්කම පිළිබඳ අවධානය යොමු කර ඒ සඳහා සමාජය තුළ විද්‍යාව ප්‍රචලිත කරමින් විද්‍යා සාක්ෂරතාව ඉහල නංවා ගැනීමේ ඉතා වැදගත් පියවරක් ලෙස ලෝක විද්‍යා දිනයට සමගාමීව ජාතික විද්‍යා දිනය සහ විද්‍යා සතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ජාතික විද්‍යා සතිය  නිල වශයෙන් සමාරම්භ කිරීමෙන් අනතුරුව, පළමු වැඩසටහන ලෙස  විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සම්පාදනය සහ රාජතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගැනීමේ විද්‍යාත්මක ප්‍රවේශයන් හඳුනාගැනීම පිලිබඳ පුළුල් විද්වත්  සංවාද දෙකක් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙහි දී අදහස් දැක්වූ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා,
විද්‍යාව, තාක්ෂණය නවෝත්පාදනය පදනම් කරගත් සමාජයක් ගොඩනැගීමටත්, පර්යේෂණ හා නවෝත්පාදන ප්‍රතිලාභ මෙරට ආර්ථිකයට සහ ශ්‍රී ලාංකේය ජනතාවට උරුම කර දීම සඳහා පහසුකම් සැලසීමටත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය සැම විටම අවධානය යොමු කරන බව පැවසීය. ඒ සඳහා මෙවර අයවැය මගින්ද ඉහල ප්‍රතිපාදන ප්‍රමාණයක් විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය වෙත වෙන්කර තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය. ඒ සඳහා තාක්ෂණ බීජෞෂණ මධ්‍යස්ථාන පිහිටුවීම ඇතුළුව විද්‍යා හා තාක්ෂණ කෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය සූදානම් බවද ඔහු ප්‍රකාශ කළේය. 
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ ලේකම් මොහොමඩ් නවවි මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, අනුබද්ධ ආයතනවල ප්‍රධානීන්, විශ්ව විද්‍යාල නියෝජිතයින්, විද්‍යාඥයින්, තාක්ෂණවේදීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.