රටේ හිටපු ජනාධිපතිවරයාගේ නිවසකට පහරදි, බස්රථ ගිනිතබා, පොදුදේපල හානිකර උසාවියට ඉදිරිපත්කරනු ලැබු වැරදිකරුවන්ව උසාවිය තුළ අත්පුඩි ගසා පිළිගෙන අපරාධකරුවන්ව උත්කර්ෂවයට නැංවූයේ මේ රටේම නීතිඥ පිරිසක් බව පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (.16) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා,
“ මේ රට නිදහසින් පසු යුද්ධ තුනකට මුහුණදුන් රටක්. ඒ 71 ජනතා විමුක්ති පෙරමුණ මේ රට තුළ ඇති කළ සිවිල් යුද්ධය , එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඇතිකරපු අවුරුදු 30 ක් තිස්සේ උඩුදුවාගෙන ගිය සිවිල් යුද්ධය සහ 89 ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ රටේ ඇති කළ මහා මිනිමරු භීෂණකාරී සිවිල් යුද්ධයයි.
හැබැයි මේ කාලයේවත් ජනතාවට නොදැණුනු තරම් ජාතික ආරක්ෂාව සම්බන්ධ භියක් මේ වන විට ජනතාවගේ සිත්තුළ ඇති වී තිබෙනවා. එක් එක් පුද්ගලයාට අවශ්‍ය පරිදි පුද්ගලයින් ඝාතනය කිරීම කිසිදු පාලනයකින් තොරව මේ රටේ සිදුවෙමින් පවතිනවා. ඒ වගේම මේ රජය අසමත් වී සිටිනවා නැතිනම් සම්පූර්ණයෙන්ම මෙයට සහයෝගය දෙනවාද කියන ප්රශ්නය ජනතාවට ඇතිවී තිබෙනවා.
පසුගිය වසරේ වෙඩිතැබීම් 111 යි, ඒ සම්බන්ධයෙන් සිදුවූ මරණ 60 යි, තුවාලවීම් 58 යි. ආසන්න වශයෙන් දින තුනකට වතාවක් වෙඩිතැබීමක් සිදුවී තිබෙනවා. මේ වන විට මේ අවුරුද්ද ලබලා දැනට දින 47 යි. මේ දින 47 තුළ වෙඩිතැබීම් 09, මිනිමැරුම් 09 යි, තුවාල සිදුකිරීම් 08 යි. මේක මහා භයානක තත්වයකට මේ රට පත්කර තිබෙනවා.
මේ රටේ ජාතික ආරක්ෂාව, ඒ වගේම සිවිල් ක්‍රියාකාරීන්ගේ, රජය විසින් වැරදි විවේචනය කරන පුද්ගලයින්ගේ, විරුද්ධ මතධාරී දේශපාලඥයින් කියන මේ සියලුදෙනාගේ ජිවිත මේ වන විට ඉතාම දැඩි තර්ජනයකට ලක්කර තිබෙනවා. විශේෂයෙන්ම රජයේ වැරදි පෙන්වන මාධ්‍යවේදීන්ගේ ජිවිතවලට ඉදිරි කාලයේදී මේ තත්වය යටතේ දැඩි තර්ජනයක් වියහැකියි
මේ තත්වය යටතේ අපි දැක්කා පසුගිය දිනක නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ අධිආරක්ෂිත කාලපයක් තුළ, දෙනෝදාහක් සෙනඟ බලාගෙන සිටියදි කිසිදු චකිතයකින් තොරව ඝාතනය කර පලායනවා. ඒ සම්බන්ධයෙන් අපි කණගාටුවෙනවා, ඒ මිනිමරුවන් කවුද කියන එක අද වනතුරු පොලිසියට සොයාගන්න බැරිවී තිබෙනවා. නමුත් නීතිඥවරයාගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් මරණයේ උනුහුම නිවෙන්න පෙර ප්‍රකාශ නිකුත් වුණා. මෙය පොලිසියකින්, ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙන්න බැරි ඉතාම භයානක, කණගාටුදායක තත්වයක්.
මේ රටේ මේ වගේ තත්වයක් නිර්මාණය කරන්න එක්තරා ආකාරයකින් නීතිඥ සංගමයේ හිටපු ප්‍රධානීන් හා නීතිඥවරු කොටසකුත් මුල්වුණා. රටක ජනාධිපතිවරයෙකුගේ නිවසකට පහරදිලා, බස්රථ ගිනිතියලා, පොදුදේපල හානිකරලා උසාවියට ඉදිරිපත්කරපු වැරදිකරුවන්ව උසාවිය තුළ අත්පුඩි ගසා පිළිඅරගෙන අපරාධකරුවන්ව උත්කර්ෂවයට නැංවූයේ මේ රටේ නීතිඥ පිරිසක්.
මා නීතිඥවරයෙකු වුණත් ඉතාම කණගාටුවෙන් ප්‍රකාශ කරන්න අවශ්‍යයි මේ තත්වය කිසිදු රටක මොලේ තිබෙන නිතිඥවරු විසින් සිදුකළ යුතු තත්වයක් නොවේ. ඒ වරද අපි ඓතිහාසිකව සිදුකර තිබෙනවා. තල වපුරලා මුං නෙලාගන්න බැහැ කියන කාරණය ඒ නීතිය විනාශ කරන්න, නීතිය කඩන්න , නීතිය කඩපු පුද්ගලයින්ව උත්කර්ෂයට නංවන්න කටයුතු කළපු පිරිසත් දැනගතයුතුයි.
