නිමල් රාජපක්ෂ
රුමේනියාවේ ට්‍රක්රථ රියදුරු රැකියා ලබා දෙන බවට කැළණිය හා වේයන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනකුගෙන් රුපියල් ලක්ෂ 36 ක් මුදලක් වංචාකල ජාඇල , කදාන ප්‍රදේශයේ NG Consultants Services නමින් වීසා උපදේශන කටයුතු සිදුකල ආයතනයේ හිමිකරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලද පැමිණිලි මත මෙසේ අදාල පුද්ගලයා සමගින් අදාළ ස්ථානයේ තිබූ රැකියා ගිවිසුම් හා ලේඛන සකස් කරන ලද ලැප්ටොප් පරිගණකද නිළධාරීන් භාරයට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් සැකකරු වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර, සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.
මෙම ජාවාරමට සහය වූ තවත් කාන්තාවක් පෙබරවාරි 18 දින කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශ ලබාගත් අතර, ඇය සතුව පැමිණිලිකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර තිබී නිළධාරීන් භාරයට ගන්නා ලදී. ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අදාල කාන්තාව අත්අඩංගුවට ගෙන වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර, සැකකාරිය පෙබරවාරි මස 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
