නිමල් රාජපක්ෂ
අධිකරණ ආරක්ෂක iii වන ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගත් නිලධාරීන් දැනුවත් කිරිම වෙනුවෙන් මාර්ගගතව Zoom තාක්ෂණය ඔස්සේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනකට සහභාගිවෙමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා අදහස් පළ කළේය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මඟින් සිදු කරන ලද සම්මුඛ පරීක්ෂණයට අනුව අධිකරණ ආරක්ෂක තනතුරු සඳහා 69 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු යොදා තිබේ.
එහිදී Zoom තාක්ෂණය ඔස්සේ අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේද සඳහන් කළේය.
අද දින පත්වීම් ලබන ඔබ සැමට මගේ උණුසුම් සුභ පැතුම් පිරිනමනවා. අද ඔබගේ ජීවිතයේ මෙන්ම අපේ අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ සුවිශේෂී සන්ධිස්ථානයක්. අද දින ඔබ ලබා ගන්නේ පත්වීම් ලිපියක් පමණක් ම නොවෙයි. ඔබ භාරගන්නේ විශාල වගකීමක්. ඒ වගකීම වන්නේ සේවය කිරීම, ආරක්ෂා කිරීම සහ අප රටේ වැදගත්ම ආයතනයක් වන අධිකරණ පද්ධතියේ ගෞරවය සුරැකීමයි.
අධිකරණ ආරක්ෂක නිලධාරීන් ලෙස ඔබගේ කාර්ය භාරය වන්නේ විනයගරුකව, ක්‍රමවත්ව අධිකරණ පරිශ්‍රයට ආරක්ෂාව ලබාදීමයි. යුක්තිය බලාපොරොත්තුවෙන් සාධාරණය වෙනුවෙන්, තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට හෝ රාජකාරියක් ඉටු කිරීමට අධිකරණයට පැමිණෙන සෑම පුද්ගලයෙකුටම තමන් සුරක්ෂිත බවත් තමන්ට ගරු කරන බවත් හැඟී යා යුතුයි. එවැනි පරිසරයක් නිර්මාණය කිරීමට ඔබගේ දායකත්වය අත්‍යවශයයි.
මෙම ස්ථානය සැමටම ගෞරවාන්විත, විනයගරුක සහ සාධාරණ ස්ථානයක් ලෙස පවත්වාගෙන යාම සහතික කිරීමේ වගකීමෙන් කොටසක් ඔබ සතු වෙනවා. නූතන රාජ්‍ය පාලනය රඳා පවතින්නේ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් මත පවතින අන්‍යෝන්‍ය රඳා පැවැත්ම මතයි. ප්රජාතන්ත්රවාදී සමාජයක් තුළ, ජනතාව තම දේශපාලන නියෝජිතයන් තෝරා පත් කර ගන්නේ රාජ්‍යයේ ප්‍රතිපත්ති තීරණය කිරීමට සහ දිශානතිය සැපයීමටයි. ඒ සමගම, රාජ්‍ය සේවකයින් එම ප්‍රතිපත්ති කාර්යක්ෂමව හා සාධාරණ ලෙස ක්‍රියාත්මක කිරීමේ වගකීම දරනවා. මෙම දෙපාර්ශවය කටයුතු කිරීමේ ස්වභාවය විය යුත්තේ එකිනෙකාව පාලනය කිරීමක් ලෙස නොව, සහයෝගීතාවය සහ හවුල්කාරීත්වයක් ලෙසයි.
කෙසේ වෙතත්, අපි අතීතයේ දී මුහුණ දුන් යථාර්ථය ද අමතක නොකළ යුතුයි. රාජ්‍ය නිලධාරීන්ට රාජකාරී නිවැරදිව කිරීමට අවශ්‍ය ස්වාධීනත්වය ලබා නොදුන් අවස්ථා තිබුණා. බොහෝ අවස්ථාවලදී මහජන මතයට නොව පෞද්ගලික අවශ්‍යතාවලට හෝ දේශපාලන හිතවත්කම් මත ඔවුන්ට බලපෑම් එල්ල වූ හෝ ඔවුන්ව අනිසි ලෙස යොදාගත් අවස්ථා ද තිබුණා. මෙවැනි තත්ත්වයන් හේතුවෙන් රාජ්‍ය සේවය සම්බන්ධව පැවති ජනතා විශ්වාසය බිඳවැටී තිබෙනවා.
