දේවින්ද පිණිදිය
ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ 33 වන බඳවා ගැනීමේ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නාවිකයන් විසි හතර දෙනෙක් (24) විසිරයාම සහ ලාංඡන පැළඳවීම, එම බලඝණයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් ලක්මාල් වීරක්කොඩි ගේ ආරාධනයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සිදු කෙරිණි.
විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සඳහා ස්ව කැමැත්තෙන් අනුයුක්ත වී, 33 වන බඳවා ගැනීමේ පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට සමත් වූ සාමාජිකයන් වෙත අභිමානවත් විශේෂ යාත්‍රා බලඝණ ලාංඡනය පැළඳවීම සහ මෙම දුෂ්කර වූ පුහුණුව තුළ සුවිශේෂි කුසලතා දැක් වූ නාවික පුද්ගලයන් හට කුසලාන ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති විසින් සිදු කෙරිණි.
ඒ අනුව, සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් පුහුණු සාමාජිකයාට හිමි කොමාණ්ඩර් එස්එන්කේ සිල්වා අනුස්මරණ කුසලානය, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි පරම වීර විභූෂණයෙන් පිදුම් ලැබු ප්‍රධාන සුළු නිලධාරි කේජී ශාන්ත අනුස්මරණ කුසලානය හා පාඨමාලාවේ අතිශූර පුහුණු සාමාජිකයාට හිමි ලුතිනන් කොමාණ්ඩර් එස්ඩබ් ගාල්‍ලගේ අනුස්මරණ විශේෂ යාත්‍රා බලඝණ සම්මානණීය සිරිය සාමාන්‍ය නැවි ඩබ්එස්ඒ ප්‍රනාන්දු විසින්ද, දක්‍ෂතම වෙඩික්කරුවාට හිමි කොමාණ්ඩර් සීඩි මාටින්ස්ටයින් අනුස්මරණ කුසලානය සාමාන්‍ය නැවි ජේඑම්ආර්පී ජයතිලක විසින්ද, හොඳම ශාරීරික යෝග්‍යතාකරුට හිමි ලුතිනන් කොමාණ්ඩර් එස්කේ දළුගම අනුස්මරණ කුසලානය සාමාන්‍ය නැවි පීඑස් ජයවර්ධන විසින් සහ පාඨමාලාවේ අතිශූර පිහිණූම්කරුට හිමි ලුතිනන් කොමාණ්ඩර් ටිඩී පලිහේන අනුස්මරණ කුසලානය සාමාන්‍ය නැවි එස්ඊටී සුමතිරත්න විසින්ද හිමිකර ගන්නා ලදි.
