.නිමල් රාජපක්ෂ
2025 නොවැම්බර් අග භාගයේදී ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල කළ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ මහා ගංවතුර සහ නායයෑම් හමුවේ, රටේ සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට ලක් විය.
නමුත් මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය කඩාවැටීමකට ඉඩ නොදී ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාමට ආපදා තත්ත්වය හමුවේ සියළු සෞඛ්‍ය සේවකයන් සහ සෞඛ්‍ය ආයතන විශාල දායකත්වයක් දක්වන ලදි.
ඒ අනුව ආපදා තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට බදුල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ සෞඛ්‍ය ආයතන දක්වන ලද දායකත්වය ඊයේ (16) ඇගයීමට ලක්වූයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් (Dr. Rajesh Sambhajirao Pandav) යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙනි.
බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සංවිධානය කළ මෙම සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇගයීමේ උත්සවය බදුල්ල “Capital City” හෝටලයේ දී පැවැත්විණි.
ආපදා සහන සහ වෛද්‍ය සේවා සැපයීම යටතේ මාතෘ සහ ළමා සෞඛ්‍ය, යොවුන් සෞබ්‍ය, වැඩිහිටි සෞඛ්‍ය, පාරිසරික සෞඛ්‍ය, බෝවන සහ බෝනොවන රෝග පාලනය, ආහාර සෞඛ්‍ය කටයුතු, කාර්යක්‍ෂමව හා ඵලදායීව සිදුකරමින් ජනතාවගේ සෞඛ්‍ය තත්වය නංවාලීම. සුරක්ෂිත මධ්‍යස්ථාන සඳහා සේවා ලබාදීම, අත්‍යවශ්‍ය සායන පවත්වාගෙන යාම, වසංගත රෝග පාලනය, මූල්‍යමය සහ මානුෂීය පරිත්‍යාග ආදී අංශ රැසක් මුලික කරගෙන මෙම ඇගයීම් සිදු කෙරුණ අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහල් ඇතුළු සියළු සෞඛ්‍ය ආයතන නියෝජනය කරමින් සහභාගි වූ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතූළු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ ආයතන සඳහා මෙහිදී සහතිකපත් සහ තිළිණ ප්‍රදානය කෙරුණි.
එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ රෝග නිවාරණ සත්කාර ආයතනවල කාර්ය සාධන ඇගයීම සහ ආපදා ප්‍රතිචාර සහ කළමනාකරණය සමාලෝචනය ද මෙහිදී සිදුවිය.
ආපදා තත්ත්වය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සිය ජිවිත පරදුවට තබා සිදු කළ සේවාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙහිදී ඇගයීමට ලක් කරන ලදි.
සෞඛ්‍ය පද්ධතිය මනා කළමණාකරයකින් යුතුව හැසිරවිය යුතු බවත්, ජනතාවට නොමිලේ සෞඛ්‍ය සේවා ලබාදුන්න ද ඊට රජය විශාල පිරිවැයක් දරන බව ද රජය අවශ්‍ය භෞතික සම්පත් ලබාදුන්න ද මහජනතාවට ලබාදෙන සේවා ඉහළ ගුණාත්මකතාවයකින් ලබාදීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල වගකීමක් බව ද අවධාරණය කරන ලදි.
බදුල්ල දිස්ත්‍රික්කයේ 893,753 ක ඇස්තමේන්තු ගත ජනගහනයක් වන අතර, ඒ අනුව නාගරික (Urban): 73,005 ක්, ග්‍රාමීය (Rural): 657,267 ක්, වතු අංශය (Estate): 170,156 ක ජනගහනයකින් යුක්තය. රෝහල් පද්ධතිය මූලික රෝහල් (Base Hospitals):Type (A) – 02, Type (B) – 02 ක්, ප්‍රාදේශීය රෝහල් Type (A) – 01, Type (B) – 09, Type (C) – 32 ක් වශයෙන් වෙි. ප්‍රාථමික වෛද්‍ය සත්කාරක ඒකක (PMCU): 17 ක්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස (MOH Areas): 16 ක්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී වසම් (PHM Areas): 321 ක්, මහජන සෞඛ්‍ය පරීක්ෂක වසම් (PHI Areas): 74 කින් ද යුක්තය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න, පළාත් සෞඛ්‍ය ලේකම් ජීවන්ත හේරත්, බදුල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත අත්තනායක, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රී ලංකා කාර්යාලයේ බෝ නොවන රෝග (NCD) මර්දන අංශයේ කණ්ඩායම් නායක වෛද්‍ය ෆාරුක් කුරේෂි (Dr. Farrukh Qureshi), බදුල්ල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය නිමාලි විජේගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල නියෝජනය කරමින් සෞඛ්‍ය වෘත්තිකයින් රැසක් එක්ව සිටියහ.
