නිමල් රාජපක්ෂ –
වත්මන් රජය බලයට පැමිණියේ කෙසේ හෝ වසර පහ ඇදගෙන යාමට නොව අභ්‍යන්තරව මෙන්ම බාහිරවද ඇති විය හැකි ඕනෑම කම්පනයකට ඔරොත්තු දිය හැකි නොසැලෙන ආර්ථිකයක් ගොඩනැගීමට බවත්, අද රටේ ආර්ථිකය ගමන් කළ යුතු දිශාව පිළිබඳ නිසි දැක්මක් සහ සැලැස්මක් ඇතිව රජය වැඩ කරමින් සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පසුගිය ආණ්ඩු වාණිජ වෙළෙඳපොළෙන් අධික පොලියට ණය ලබා ගෙන තමන්ගේ අවුරුදු පහ ඇදගෙන ගියද, වත්මන් රජය යටතේ මේ වන විට ප්‍රධාන ආර්ථික සාධක ගණනාවකින් ජයග්‍රහණ ලබා ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ ගමන් මාවත තුළ රට ඉතාමත් ශක්තිමත් ආර්ථිකයක් කරා ප්‍රවිෂ්ට වී තිබෙන බවද සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන කොටසේ දෙවැනි අදියර යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කිලෝමිටර් 18.7ක කොටසේ සංවර්ධන කටයුතු ආරම්භ කරමින් ගලගෙදර මහජන ක්‍රීඩාංගණයේදී අද (29) පස්වරුවේ පැවති ජන හමුව අමතමිනි.
අද ලංකාවේ පළමු වතාවට අනාගතය ගැන හිතන ආණ්ඩුවක් බිහි වී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ණය තිරසරභාවය සහ ණය කළමනාකරණය ප්‍රශස්ත මට්ටමේ පවත්වාගෙන යමින් රටට අවශ්‍ය සංවර්ධනය උදාකර දීමට රජය කැපවී සිටින බවද සඳහන් කළේය.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ දේශීය අරමුදල් සහ දේශීය කොන්ත්‍රාත් සමාගම්වල දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර සඳහා රුපියල් බිලියන 112.44ක් වැය කිරීමට නියමිතය. මංතීරු 04 කින් සමන්විත මෙම මාර්ග කොටසේ ඉදිකිරීම් 2029-05-28 දින අවසන් කිරීමට සැලසුම් කර ඇත.
එමෙන්ම මේ වන විට සිදු කෙරෙන පොතුහැර සිට රඹුක්කන දක්වා වූ පළමු අදියරේ ඉදිකිරීම් ලබන වසරේ මැද භාගය වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
අද මේ මුලපුරන්නේ මහනුවර දිස්ත්‍රික්කය සහ ඒ අවට ප්‍රදේශ ඉලක්ක කරගත් ප්‍රධාන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියකටයි. මෙම ව්‍යාපෘතිය අපේ රටේ සමාජ ජීවිතය ඉහළ නැංවීම සඳහා ප්‍රබල පිටුවහලක් වෙනවා.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී අපේ අමාත්‍යතුමා, නියෝජ්‍ය අමාත්‍යවරු, ලේකම්තුමා සහ අදාළ නිලධාරීන් විශාල වෙහෙසක් දරා කටයුතු කළා. ඒ වගේම අපි දේශීය කොන්ත්‍රාත්කරුවන් කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා උසස් ප්‍රමිතියෙන් සහ තාක්ෂණයෙන් යුතුව මෙහි වැඩකටයුතු නියමිත කාල පරිච්ඡේදය තුළ අවසන් කරනු ඇතැයි කියලා.
ඩොලරයේ උච්චාවචනය සමඟ රට තුළ විශාල සංවාදයක් ඇති වී තිබෙනවා.ආණ්ඩුව බිඳ වැටෙයි, උපදෙස් ගන්න වගේ ඒවා කියනවා. අපේ ආර්ථිකයේ ඇති විය හැකි අර්බුදයන් සහ ගමන් කළ යුතු දිශාව පිළිබඳව දැක්මක් සහ සැලැස්මක් ඇතිව අපි වැඩ කරමින් සිටිනවා. ඒ නිසා ඕනෑම මොහොතක ඇතිවන කුණාටුවක්, ඕනෑම මොහොතක ඇති විය හැකි අස්ථාවරභාවයක් ඉතා ඉක්මනින් යළි ස්ථාවරත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය වන ශක්තිමත් ආර්ථිකයක් අපිට අවශ්‍යයි. අපි තවමත් ආර්ථිකයේ සියලු දිශාවල ශක්තින් එක් රැස් කරගෙන නොමැති බව සත්‍යයක්. අපිට අවශ්‍ය ආයෝජන අවශ්‍ය ප්‍රමාණයන් තවම කැඳවාගෙන නැහැ. නව තාක්ෂණය සමග වැඩ කළ හැකි දැනුම තිබෙන නව පරම්පාරවක් අපි තවම නිර්මාණය කරගෙන නැහැ. ලෝකයේ වෙළෙඳපොළ ජයග්‍රහණය කළ හැකි ආර්ථික හැකියාවක් අපි තවමත් අත්පත් කරගෙන නැහැ. හැබැයි අපේ අභියෝගය සහ අපේක්ෂාව වන්නේ ඕනෑම කුණාටුවකට, ඕනෑම අර්බුදයකට මුහුණ දෙමින් නොසැලී සිටින ආර්ථිකයක් ගොඩනැගීමයි.
දේශීය වශයෙන් ඇති වන ආර්ථික කම්පනයන්ට අද අපිට සැලකිය යුතු ප්‍රමාණයකින් මුහුණ දෙන්න පුළුවන්. පසුගිය දිට්වා සුළි කුණාටුවට මුහුණ දීමට මහා භාණ්ඩාගාරයෙන් කෝටි 50,000ක් වෙන් කිරීමට අපිට හැකියාව ලැබුණා. ලංකා ඉතිහාසයේ ව්‍යසනයක් හමුවේ වැඩිම මුදලක් වෙන් කළ පළමු අවස්ථාව මෙයයි.
