නිමල් රාජපක්ෂ-
මතුගම ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානයේ යෝජිත අභිනව ධර්ම ශාලාව සහ දහම් පාසල් ගොඩනැගිල්ල (දෙමහල්) සඳහා මුල්ගල තැබීම ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අතිපූජනීය මහානායක, නවගමුව සුගත බිම්බාරාම විහාරාධීශ්වර මල්වානේ ප්‍රඥාසාර මාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ ප්‍රධානත්වයෙන්, මහා සංඝරත්නයේ වැඩමවීමෙන් අද (23) උදෑසන යෙදුන සුබ මොහොතින් සිදු කෙරිණි.
මෙම මුල්ගල් තැබීමේ අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රමුඛ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් පින්නගොඩ විතාන, සංජීව රණසිංහ, මංගල වික්‍රමාරච්චි යන මහත්වරු ද එක්ව සිටි අතර, දායකාධිකාරීන්ගේ දායකත්වයෙන් සීමිත ඉඩකඩ ගැටළුවට පිළියමක් ලෙස මුල්ගල තැබුණු අභිනව ධර්ම ශාලාව සහ දහම් පාසල් ගොඩනැගිල්ල විහාරස්ථානයේ ප්‍රධාන අවශ්‍යතාවයකි.
මෙම පුණ්‍යෝත්සව මතුගම ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරයේ සම්මාන විහාරාධිපති, යටදොලවත්ත ශ්‍රී වාචිස්සරාරාමාධිපති, ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කැකුලන්දල විහාර පාර්ශවයේ ප්‍රධාන සංඝ නායක මහෝපාධ්‍යාය අතිපූජ්‍ය යටදොලවත්තේ චන්ද්‍රසිරි නාහිමිපාණන් වහන්සේ සහ මතුගම ශ්‍රී සුදර්ශනාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය පාද පිඹුරේ චන්දිම හිමිපාණන් වහන්සේගේ මඟපෙන්වීමෙන් හා සංවිධාන ශක්තියෙන් සිදුකෙරිණි.
දහම්පාසල් අධ්‍යාපනයේ විශිෂ්ට දක්ෂතා සමගින් විහාරස්ථානයේ ඉගෙනුම ලබන 800 ක් පමණ වන දහම් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වඩාත් ක්‍රමවත්ව සිදුකිරීමට ඉඩකඩ සැලැසීම, ප්‍රදේශයේ බෞද්ධ ජනතාවට ආගමික වත්පිළිවෙත් සහ ධර්ම ශ්‍රවණය සඳහා නවීන ධර්ම ශාලාවක පහසුකම් ලබාදීම, විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙන පොදු සහ ශාසනික කටයුතු වඩාත් පුළුල් කිරීම මෙම ධර්ම ශාලාව ඉදිකිරීමෙන් සිදුවන ප්‍රධාන සේවාවන් වෙි.
රාජ්‍ය සම්මානලාභී ලේඛකඅතිපූජ්‍ය බටුවන්ගල රාහුල නාහිමිපාණන් වහන්සේ මෙහිදී පැවිදි අනුශාසනාව පවත්වන ලදි.
මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ගිහි දේශණය පවත්වමින් රට ආර්ථික වශයෙන් නැගී සිටින අවස්ථාවක ඊට සාපේක්ෂව දහම් අධ්‍යාපනය හරහා ජනතාවගේ අධ්‍යාත්මික වර්ධනය ඉතා වැදගත් වන බව පැවසීය.
මෑතකාලීනව බෞද්ධයින්ගේ පිබිදීමක් දක්නට ඇති බවත්, දරුවන් දහම් පාසල් අධ්‍යාපනයට යොමු කිරීමේ ඇති වැදගත්කම ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදි.
කළුතර දිස්ත්‍රික්කයේ පස් දුන් කෝරළයට අයත් මතුගම ප්‍රදේශයේ පිහිටි මතුගම ශ්‍රී සුදර්ශණාරාම මහා විහාරය යනු ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ ප්‍රධානතම ආගමික කේන්ද්‍රස්ථානයකි.
මෙම මෙම පුණ්‍යෝත්සවයට බෝපිටිය ශ්‍රී සීලවංසාරාමාධිපති පාලින්දනුවර උප ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය, මතුගම මංගල නාහිමිපාණන් වහන්සේ ඇතුළු ප්‍රදේශයේ අතිපූජනීය මහා සංඝරත්නය රැසක්ද වැඩමවා තිබූ අතර, හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ සෙනෙල් වෙල්ගම, මතුගම දිසාපති මංගල වික්‍රමාරච්චි, මතුගම ප්‍රාදේශීය ලේකම් මධුෂ සංකල්ප, මතුගම ප්‍රාදේශීය සභා සභාපති කසුන් මුණසිංහ,අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී අජිත් කුමාර පිටිගල, මතුගම සහකාර පොලිස් අධිකාරී සම්පත් බණ්ඩාර, මතුගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ධනුෂ්ක මද්දුම බණ්ඩාර, විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂවරු,දායක සභාව, උත්සව සංවිධාන කමිටුව, ශාසනප්‍රේමීන් සහ ප්‍රදේශවාසී දායක දායිකාවන් රැසක් එක්ව සිටියහ.
