Spread the love

නිමල් රාජපක්ෂ-

මාතෘභූමියේ ඒකීයභාවය සහ ආරක්ෂාව වෙනුවෙන් උතුම් වූ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ, පරම වීර විභූෂණ (PWV) සහ රණ ශූර (RSP) පදක්කම්වලින් පිදුම් ලැබූ 4 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් එච්. පී. එස්. බණ්ඩාර රණවිරුවාගේ පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් විමසා බැලීම සඳහා හේවාදිවෙල, දුල්මුණේ පිහිටි ඔහුගේ නිවස වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පසුගියදා පැමිණියේය.

2009 මැයි 17 වන දින නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව පැවැති අතිශය තීරණාත්මක සටනකදී, සතුරු ප්‍රහාර හමුවේ නොසැලී සිටිමින් තමන්ගේ ජීවිතය පවා නොතකා තම සගයන් ආරක්ෂා කරගනිමින් දක්වන ලද අසමසම වීරත්වය සහ නායකත්වය වෙනුවෙන් එච්. පී. එස්. බණ්ඩාර පරම වීර විභූෂණයෙන් උපහාර ලැබූ අතර, පසුව ඔහු මාණ්ඩලික සැරයන් තනතුරට ද උසස් කරනු ලැබීය.

මෙම සංචාරයේදී යුද්ධ හමුදාධිපති විසින් රණවිරුවාගේ බිරිඳ වන දර්ශනී නයනා වීරගොඩ මහත්මිය ඇතුළු පවුලේ නෑදෑහිතමිතුරන් හමුවී පවුලේ යහපැවැත්ම සහ ඉදිරි අවශ්‍යතා පිළිබඳව සොයා බැලුවේය.

රට වෙනුවෙන් උතුම් ජීවිත පරිත්‍යාගයක් කළ විරෝදාර රණවිරුවාගේ මතකය ආවර්ජනය කළ හමුදාධිපති, හමුදාවේ පූර්ණ සහයෝගය නිරන්තරයෙන්ම පවුලේ සාමාජිකයින් වෙත හිමිවන බවට සහතික විය.