නිමල් රාජපක්ෂ-
හරිත දේශගුණ අරමුදලේ (Green Climate Fund – GCF) නැගෙනහිර සහ දකුණු ආසියානු කලාපීය සංවාදය කොළඹ City of Dreams හි Cinnamon Life පරිශ්‍රයේදී අද (14) පෙරවරුවේ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙම සංවාදය සඳහා ශ්‍රී ලංකා රජය විසින් සත්කාරකත්වය දරනු ලබන අතර එය අද සිට 17 දක්වා පැවැත්වීමට නියමිතයි. හරිත දේශගුණ අරමුදල (Green Climate Fund) යනු දේශගුණ විපර්යාසවල අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය (United Nations Framework Convention on Climate Change) තුළ පිහිටුවන ලද ලොව විශාලතම විශේෂිත දේශගුණ අරමුදලයි.
හරිත දේශගුණ අරමුදලෙහි අරමුණ වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන්ගේ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට සහ දේශගුණ විපර්යාසවල බලපෑම්වලට අනුගත වීමට සහාය ලබා දීමෙන් අඩු විමෝචන සහ දේශගුණ සංවර්ධන මාර්ග කරා සුසමාදර්ශ මාරුවීමක් (Paradigm Shift) ප්‍රවර්ධනය කිරීමයි. ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශය හරිත දේශගුණ අරමුදල වෙත රටේ ජාතික බලයලත් අධිකාරිය (National Designated Authority) ලෙස සේවය කරන අතර, දේශගුණ මූල්‍ය ප්‍රවේශය සම්බන්ධීකරණය කිරීම, හරිත දේශගුණ අරමුදල වෙත ප්‍රතීතනය (Accreditation) සඳහා ආයතන නම් කිරීම සහ අරමුදල් යෝජනා අනුමත කිරීම සහ හරිත දේශගුණ අරමුදල විසින් සහාය දක්වන ක්‍රියාකාරකම් ජාතික සංවර්ධන අරමුණු සමඟ පෙළගැස්වීම සහතික කිරීමේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
බංග්ලාදේශය, භූතානය, චීනය, ඉන්දියාව, මාලදිවයින, මොන්ගෝලියාව, නේපාලය, පකිස්ථානය, කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් නියෝජිතයන් 120කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය. ජාතික බලයලත් අධිකාරීන්, සෘජු ප්‍රවේශ ආයතන, ප්‍රතීතනය ලත් ආයතන, සිවිල් සමාජ සංවිධාන, පෞද්ගලික අංශය, සංවර්ධන හවුල්කරුවන් සහ තාක්ෂණික ආයතන නියෝජනය කරන පිරිස් මෙම සංවාදයට එක්විණ.
දේශගුණික විපර්යාස සම්බන්ධ ව්‍යාපෘති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන අභියෝග, අත්දැකීම් සහ පාඩම් හුවමාරු කර ගැනීමත්, දේශගුණික මූල්‍ය සම්බන්ධයෙන් කලාපීය සහයෝගීතාව හා හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමත්, හරිත දේශගුණ අරමුදලේ නව උපායමාර්ග, ප්‍රතිපත්ති සහ ප්‍රවේශයන් පිළිබඳ දැනුවත් කිරීම මෙන් ම නැගෙනහිර සහ දකුණු ආසියාව තුළ දේශගුණික ආයෝජන වේගවත් කිරීම සඳහා අවස්ථා හඳුනා ගැනීම මෙම සංවාදයේ අරමුණයි.
මෙම කලාපීය සංවාදය කොළඹදී පැවැත්වීමෙන්, රජයේ හා පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සංවර්ධන හවුල්කරුවන්, තාක්ෂණික විශේෂඥයින් සහ ජාත්‍යන්තර දේශගුණික මූල්‍ය ආයතන සමඟ ඉහළ මට්ටමේ සම්බන්ධතා ගොඩනගා ගැනීමට ශ්‍රී ලංකාවට වැදගත් අවස්ථාවක් හිමි වේ.
එමගින් දේශගුණික මූල්‍ය සහ ජාත්‍යන්තර ප්‍රදාන සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවේශය වැඩිදියුණු කිරීම, රටේ දේශගුණික ක්‍රියාකාරකම් හා ජයග්‍රහණ ජාත්‍යන්තරය හමුවේ ප්‍රදර්ශනය කිරීම සහ ගෝලීය දේශගුණික ප්‍රජාව තුළ ශ්‍රී ලංකාවේ සම්බන්ධතාව ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.
සෘජු ප්‍රතීතනය සඳහා දැනටමත් අයදුම් කර ඇති ශ්‍රී ලාංකික ආයතන සඳහා ද මෙම සංවාදය උපායමාර්ගික වේදිකාවක් සපයයි. එම ආයතනවලට තම ව්‍යාපෘති සංකල්ප ඉදිරිපත් කරමින් හරිත දේශගුණ අරමුදලේ නියෝජිතයන් සමඟ සෘජුව සාකච්ඡා කිරීමට හැකි වන අතර, එමගින් ප්‍රතීතන ක්‍රියාවලියට සහාය ලබා ගැනීමට ද අවස්ථාව සැලසේ.
කලාපීය හවුල්කාරිත්වයන් ශක්තිමත් කරමින් සහ දේශගුණික මූල්‍ය සම්බන්ධ සහයෝගීතාව පුළුල් කරමින්, දේශගුණික ආයෝජන සඳහා විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ ස්ථානගත කිරීමට මෙම කලාපීය සංවාදය ඉවහල් වනු ඇත.
හරිත දේශගුණ අරමුදලේ නැගෙනහිර සහ දකුණු ආසියානු කලාපීය සංවාදය සදහා සත්කාරකත්වය දැරීම ශ්‍රී ලංකාවට ගෞරවයක් වන අතර දේශගුණික විපර්යාසවලට අතිශයින්ම ගොදුරු වන රටක් ලෙස, ප්‍රවේශ විය හැකි, පුරෝකථනය කළ හැකි සහ පරිමාණයෙන් වැඩි දියුණු කළ හැකි දේශගුණික මූල්‍යකරණය සඳහා ඇති අත්‍යවශ්‍ය අවශ්‍යතාව තේරුම් ගනිමින් පැරිස් ගිවිසුම යටතේ අභිලාශකාමි දේශගුණික ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ අපගේ සාමූහික හැකියාව තහවුරු කිරීම සහ විසඳුම් බෙදා ගැනීම සඳහා මෙම සංවාදය අපගේ කලාපයට ඉතා වැදගත් වේදිකාවක් සපයයි.
