Spread the love

නිමල් රාජපක්ෂ-

කොළඹ නාගරික ජනතාවට නිවාස පහසුකම් ලබාදීම වෙනුවෙන් ඉදිකරන ලද කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස්, ස්ටේඩියම්ගම, Port View Residencies නව මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීම අද දින (2026.09.15) සිදුකෙරිණ.

නව නිවාස සංකීර්ණයේ නිවාස ලාභීන් වෙත හිමිකම් ඔප්පු සහ නිවාස යතුරු නිල වශයෙන් භාරදීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අමාත්‍යවරයා ඇතුළු ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ සංවර්ධන සැලසුම්කරණයට අනුගතව නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහයවීමේ ව්‍යාපෘතිය (SCURP) මගින් මෙම මහල් නිවාස සංකීර්ණය ඉදිකර ඇත. සමස්ත ව්‍යාපෘතිය සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 9,866 කි. මූල්‍ය ප්‍රතිපාදන ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) ණය ආධාර යටතේ ලබාදී ඇත.

මහල් 15 කින් යුතුව ඉදිකර ඇති මෙම නිවාස ව්‍යාපෘතිය වර්ග අඩි 500 ක ප්‍රමාණයේ නිවාස ඒකක 1,000 කින් සහ ජනතාවට අවශ්‍ය පොදු පහසුකම් ලබාගත හැකි අංගවලින් සමන්විතය. නිවාසලාභීන්ගේ පොදු අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, ප්‍රජා ශාලාවක්, දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්, පොලිස් මුරපොලක්, ග්‍රාම නිලධාරි කාර්යාලයක්, ගිනි නිවීමේ ඒකකයක්, සුපිරි ‌වෙළඳසැලක්, ළමා උද්‍යානයක් සහ අත්පන්දු ක්‍රීඩා කිරීම සඳහා ස්ථානයක් ඇතුළු පහසුකම් රැසක් සහිතව ඉදිකිරීම් නිමකර ඇත. මහල් නිවාස යෝජනා ක්‍රමයේ ජනතා පහසුකම් වැඩිදියුණු කිරීම යටතේ පූර්ණ යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාවලියක් සිදුකෙරේ. ප්‍රදේශයේ මාර්ග පද්ධතිය සහ ඇල මාර්ග පද්ධතිය සංවර්ධනය, නව ප්‍රජා ශාලාවක් ඉදිකිරීම හා පවතින ක්‍රීඩාංගණය වැඩිදියුණු කිරීම ද මෙයට ඇතුලත් වේ.

මෙම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ බිමල් රත්නායක අමාත්‍යවරයා ;

‘පසුගිය 2020 වසරේ මැයි මාසයේ දී ඉදිකිරීම් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය ආර්ථික අර්බුද හේතුවෙන් අතරමග නතර කර තිබුණා. මෙහි නිවාස ඒකක 1,000 ක් ඉදිකර තියෙනවා. එයින් නිවාසලාභීන් 250 කට අද දින පදිංචියට අවස්ථාව සැලසෙනවා. ඉතිරි නිවාස 750 කොටස් වශයෙන් ඉදිරි මාස අටක කාලය තුල විධිමත්ව පදිංචි කිරීම් සිදු කරනවා. එළැඹෙන 2027 වසරේ අප්‍රේල් මාසයට පෙර සියලු පදිංචි කිරීම් හරිආකාරව සිදු කරනවා. ජනතාවට පහසුකම් වැඩිදියුණු කරන ලද ව්‍යාපෘතියක් ලෙස මෙම නිවාස යෝජනා ක්‍රමය නිම කිරීම විශේෂත්වයක්. Port View Residencies නව මහල් නිවාස සංකීර්ණය සාර්ථකව පවත්වා ගැනීමටත්, රැකබලා ගැනීමටත්, නිවාස ලාභීන්ගෙන් සමන්විත ප්‍රජා කමිටු පිහිටුවා නිසි නඩත්තුකරණ ක්‍රියාවලියට සහය ලබාදෙන ලෙස විශේෂයෙන් මතක් කරනවා.’

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නජිත් ඉන්දික, කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර්, එහි නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකොන්, නාගරික මන්ත්‍රීවරුන් වන එස්. සුදාකර්, චාමර පෙරේරා, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් තරණි ගමගේ, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු එම්.ජී. හේමචන්ද්‍ර, එහි අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු දමිත් දිසානායක, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති ක්‍රිෂන් නානායක්කාර, එහි සාමාන්‍යාධිකාරි කපිල ප්‍රියන්ත, කොළඹ නාගරිත පුනර්ජීවන ව්‍යාපෘතියට සහයවීමේ ව්‍යාපෘතියේ (SCURP) ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.එම්.සී. බණ්ඩාර, අතිරේක අධ්‍යක්ෂ (සමාජ) අනෝමා බටගල්ල, නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ එඩ්වඩ් අබේකෝන් යන මහත්ම මහත්මීහු ඇතුළු ජනතා නියෝජිතයෝ සහ රාජ්‍ය නිලධාරීහු ද නිවාස ලාභීන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ ද විශාල පිරිසක් එක්ව සිටියහ.