නිමල් රාජපක්ෂ-
බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොරගොල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක මොරගොල්ල ගම නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු අද (16) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
2011 වසරේ මොරගොල්ල ප්‍රදේශයේ සිදුවූ නායයෑම හේතුවෙන් අවතැන් වූ පවුල් 54ක් වෙනුවෙන් මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණද, වසර ගණනාවක් පුරා එහි ඉදිකිරීම් කටයුතු අතරමග ඇනහිට තිබිණි. පවුල් 54ක් සඳහා නිවාස ලබාදීමට සැලසුම් කර තිබූ මෙම ව්‍යාපෘතියේ 2025 වසර වන විටත් එකදු නිවසක් හෝ සම්පූර්ණ කර ජනතා අයිතියට පත් කිරීමට හැකිවී නොතිබිණි.
එවකට නිවාසලාභීන් වෙත ණය මුදල් ලබාදී ඔවුන් විසින්ම නිවාස ඉදිකර ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබූ අතර, මුදල් කළමනාකරණය කර ගැනීමේ අපහසුතා මෙන්ම පැවති ආර්ථික හා සමාජීය දුෂ්කරතා හේතුවෙන් එම වැඩපිළිවෙළ අපේක්ෂිත ප්‍රතිඵල ලබාදී නොතිබිණි. ඒ හේතුවෙන් ඇතැම් නිවාසවල අත්තිවාරම් පමණක් ඉදිකර තිබූ අතර, තවත් නිවාස රැසක් අසම්පූර්ණ තත්ත්වයේ පැවතිණි.
නායයෑම් අවදානම සහිත ප්‍රදේශවල ජීවත්වන වතු ප්‍රජාව සුරක්ෂිත කිරීමේ අරමුණින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන “මලෛයග මහිල්චිචි” වැඩසටහන යටතේ, මෙම දිගුකාලීන ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීම සඳහා අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ මගපෙන්වීම සහ වත්මන් රජයේ මැදිහත්වීම යටතේ 2025 වසරේ නොවැම්බර් මස ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලැබීය.
ඒ අනුව මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ පවුල් 24ක් සඳහා නව නිවාස ඉදිකිරීම සිදු කරන ලද අතර, එක් නිවසක් සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 2.8කි. ඒ අනුව නිවාස 24 සඳහා ඇස්තමේන්තුගත මුළු වියදම රුපියල් මිලියන 75.2 ක්ද, ජල හා විදුලි පහසුකම් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පමණක් රුපියල් මිලියන 20.02ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.
මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස වසර ගණනාවක් පුරා අතහැර දමා තිබීම හේතුවෙන් බිත්ති පුපුරා යාම, අත්තිවාරම් දිරාපත්වීම ඇතුළු හානිවලට ලක්ව තිබූ ඉතිරි නිවාස 30 ප්‍රතිසංස්කරණය කර සම්පූර්ණ කිරීම සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 49.5ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මීට අමතරව, මාර්ග, රැඳවුම් බැමි සහ ජල අපවහන පද්ධති ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 39ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.
ඒ අනුව, දෙවන අදියර යටතේ නිවාස ප්‍රතිසංස්කරණය සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වෙන් කර ඇති මුළු ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 88.5කි.
මෙම අදියරේ ඉදිකිරීම් හා යටිතල පහසුකම් සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා බලකායේ සෘජු ශ්‍රම දායකත්වය ලබාගැනීමට පියවර ගෙන තිබේ.
වසර 14කට ආසන්න කාලයක් පුරා අවතැන් වූ පවුල් 54ක බලාපොරොත්තුවක් බවට පත්ව තිබූ මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කර, එම පවුල් සඳහා සුරක්ෂිත නිවසක අයිතිය සහ ගෞරවනීය ජීවන තත්ත්වයක් තහවුරු කිරීම රජයේ අරමුණයි.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අම්භිකා සාමිවේල් මහත්මිය, හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත වරුෂමාන මහතා, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ
