Spread the love

නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද නාවික හමුදාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් පැවැත්වෙන CARAT (Cooperation Afloat Readiness and Training) – 2026 නාවික අභ්‍යාසය, නැගෙනහිර මුහුදු තීරයේදී ක්‍රියාකාරී මුහුදු මෙහෙයුම් (Sea Phase) අදියර වෙත සාර්ථකව පිවිස ඇත.

2026 ජූලි මස 27 සිට 30 දක්වා පැවති අභ්‍යාසයන්හිදී, දෙරටේ නාවික හමුදාවන් අතර මෙහෙයුම් සූදානම, වෘත්තීය හැකියාවන් සහ අන්තර් ක්‍රියාකාරීත්වය (Interoperability) වර්ධනය කිරීමේ අරමුණින් විෂය ක්ෂේත්‍ර රැසක් ආවරණය කරමින් විශේෂඥ දැනුම හුවමාරු වැඩසටහන් (Subject Matter Expert Exchanges – SMEEs) සංවිධානය කෙරිණි. ඒ යටතේ සයිබර් ආරක්ෂාව, වෛද්‍ය මෙහෙයුම්, කිමිදුම් හා ගලවාගැනීමේ කටයුතු, නෞකා වෙත පිවිස පරීක්ෂා කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් (Visit, Board, Search and Seizure – VBSS), පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ කටයුතු (Explosive Ordnance Disposal – EOD) සහ සමුද්‍රීය කලාපීය දැනුවත්භාවය (Maritime Domain Awareness – MDA) පිළිබඳ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක විය.

මෙවර අභ්‍යාසයට විශේෂත්වයක් එක් කරමින්, විෂ සහිත සර්පයන් හඳුනා ගැනීම සහ ආරක්ෂිතව හැසිරවීම පිළිබඳ දැනුම හුවමාරු කරගැනීම සඳහා සර්ප හැසිරවීමේ ප්‍රායෝගික නිරූපණයක් (Snake Handling Demonstration) ද පැවැත්වුණු අතර, එමඟින් විෂ සහිත සර්පයන් හඳුනා ගැනීම, ආරක්ෂිතව හැසිරවීම සහ එවැනි අවදානම් තත්ත්වයන්ට නිසි අයුරින් ප්‍රතිචාර දැක්වීම සම්බන්ධ ප්‍රායෝගික දැනුම හා කුසලතා සහභාගිවන්නන් අතර වර්ධනය කිරීමට අවස්ථාව උදා විය.

CARAT – 2026 අභ්‍යාසයේ ප්‍රධාන අංගය වන මුහුදු අදියර සාමාන්‍ය නෞකා පෙළගැස්වීම් පුහුණුවෙන් ඔබ්බට ගොස්, උසස් මට්ටමේ යුදමය මෙහෙයුම් සහ විවිධ සමුද්‍රීය ක්‍රියාන්විත අභ්‍යාස රැසක් ඇතුළත් වන පරිදි සැලසුම් කර ඇති අතර, දෙරටේ නාවික හමුදාවන්ගේ ඒකාබද්ධ මෙහෙයුම් හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීම එහි ප්‍රධාන අරමුණ වේ.

මෙම අභ්‍යාස සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා නාවික මැරීන් බළකාය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ එක්සත් ජනපද මැරීන් බළකාය එක්ව සිටියහ.