Spread the love

ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් නිදහස් වෙළෙඳ ගිවිසුම් අස්සන් කරමින් ඇඟලුම් අපනයනය ආරක්ෂා කිරීමට පියවර ගනිද්දී ආණ්ඩුවට කිසිම වැඩ පිළිවෙළක් නැතැයි නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමය චෝදනා කරයි.

කටුනායක වෙළෙඳ කලාපයේ ශ්‍රමිකයන් 1,400කට අධික පිරිසකගේ රැකියා අවදානමේ වැටීම ඊට ආසන්නතම නිදසුන යැයි එම සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා පැවැසීය.

ඇඟලුම් රැකියාවල පුරප්පාඩු නොමැතිකම හේතුවෙන් කටුනායක වසා දැමූ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක මහත්ම මහත්මින් 1,400 දෙනාට වෙනත් ස්ථානයක රැකියා සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් මේ වන විට උදාවී ඇතැයි ද මාකස් මහතා කීය.

රෙදිපිළි ඇණවුම් හිඟකම හේතුවෙන් මෙම පුරප්පාඩු නොමැති තත්ත්වය උදාවී ඇති බව කී හෙතෙම බොහෝ කර්මාන්ත ශාලාවල 6 මාසයකට අඩු කාලයක් සේවය කළ සේවකයන්වත් රැකියාවෙන් අස්කරන තත්ත්වයක් තුළ කටුනායක රැකියා අහිමි වූ 1,400ක් පමණ දෙනාට නව රැකියා සොයා ගැනීම විශාල ගැටලුවක් බව අවධාරණය කළේය.

මේ අනුව මෙම ගැටලුව ගැන මෙන්ම ඉදිරියේදී ඇති විය හැකි මෙවැනි අර්බුද ගැන ආණ්ඩුවේ බලසම්පන්න මැදිහත්වීමක් අවශ්‍ය බවද ඔහු කීය.

ඇඟලුමි කර්මාන්තයේ ප්‍රශ්නය ගැන ආණ්ඩුව කල් තියා සැලසුම් නොකළ බවත් මේ ආණ්ඩුව යෝජනා ලබා ගැනීමට ක්ෂේත්‍රය ගැන දන්නා අය සමඟ සාකච්ඡාවක් හෝ නොකරන බවටත් මාකස් මහතා චෝදනා කළේය.

මේ අතර කටුනායක වසා දැමූ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන්ගේ ගැටලුව ගැන සාකච්ඡා කිරීමට කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා මේ වන තෙක් තම පාර්ශ්වයට දැනුම් දුන්නේ නැතැයිද ඔහු කීය.

එම කම්කරුවන්ගේ ගැටලුව සම්බන්ධව විමසීම සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය 21 වැනිදා හමු වූ බවත් එහිදී සාකච්ඡාවක් කිරීමට ඉඩ දෙන බවට පොරොන්දු වූ නමුත් ඒ සඳහා තම පාර්ශ්වය කැඳවූයේ නැතැයි ඔහු කීය.

සේවකයන් 2,825 ක් අතරින් 1,416කට රැකියා අහිමි වන ආකාරකයට එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරීය කටයුතු කළ බවත් එම ගැටලුව ගැන කම්කරු කොමසාරිස්වරිය සමඟ සාකච්ඡා කළ බවත් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස පැවැසීය.