Spread the love

නිමල් රාජපක්ෂ

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසු කරමින්  දින 110ක් පුරා සාමය වෙනුවෙන් පා ගමනට නායකත්වය දුන් පඤ්ඤාකර හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙරටට වැඩමකර , දඹුල්ලේ සිට කොළඹ ගංඟාරාම විහාරය දක්වා ඇරඹි පාගමනේ තෙවන දිනය උභය විහාරික මහා සංඝරත්නයේ සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් අද (24) පෙරවරුවේ නුවර දළදා මාළිගාව අභියසින් ආරම්භ කළේය.

තෙවන දින පාගමන ආරම්භ කිරීමට පෙර පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු මහා සංඝරත්නය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය දළදා වහන්සේ වැඳ පුදා ගනිමින් ආගමික වතාවත්වල නිරත විය. අනතුරුව දළදා මාළිගයේ පත්තිරිප්පුව අභියස විශේෂ පීඨිකාවත් මත මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද සිදු කළහ.

දළදා මාළිගය අසලින් ඇරඹි තෙවන දින සාම පාගමන මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරයෙන් අවසන් වන අතර අප්‍රේල් 28 වන දින සාම පාගමනේ නිමාව සනිටුහන් කිරීමට නියමිතයි.

උභය විහාරික මහා සංඝරත්නය, මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස්.බී. අබේකෝන්, දියවඩන නිලමේ නිලංග දෑළ බණ්ඩාර යන මහත්වරුන් මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.