Spread the love

දේවින්ද පිණිදිය

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කළපුව ප්‍රදේශයේ 2026 අප්‍රේල් මස 22 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය පනහකට (550) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින්, මීගමුව කළපුව ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම කළපුව ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම යාත්‍රාව තුල උර පහලොවක (15) අසුරා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය පනස් තුනක (553) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය, සැකකරුවන් සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරන කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇත.