නිමල් රාජපක්ෂ
ආබාධ සහිත පුද්ගලයන් සඳහා සේවා සපයන ආයතනවල ප්‍රවේශ පහසුකම් පිළිබඳ විගණනයක් බත්තරමුල්ල, සෙත්සිරිපාය පළමු හා දෙවන අදියර ආශ්‍රිතව සිදු කෙරිණි. එහි අවසන් විගණන වාර්තාව පසුගිය 31 වැනිදා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා වෙත එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පිළිගන්වන ලදී.
2026 අයවැය යෝජනා මඟින් ආබාධ සහිත ප්‍රජාව සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දුම්රිය ස්ථාන, බස් නැවතුම්පොළ, අධිකරණ, පොලිස් ස්ථාන ඇතුළු පොදු ස්ථාන හා රාජ්‍ය ආයතන වෙත ප්‍රවේශ වීමේ පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන වෙන් කරනු ලැබීය.
ඒ අනුව, දිවයිනම ආවරණය වන පරිදි ආබාධ සහිත පුද්ගලයන් සඳහා සේවා සපයන ආයතනවල ප්‍රවේශ පහසුකම් පිළිබඳ විගණනයක් සිදු කිරීම සඳහා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය විසින් සැලසුම් සකස් කරනු ලැබීය.
ඊට සමගාමීව, මැතිවරණ පද්ධති සඳහා වූ ජාත්‍යන්තර පදනම (IFES) විසින් ඔස්ට්‍රේලියානු රජයේ මූල්‍ය ආධාර යටතේ දිවයිනේ දිස්ත්‍රික්ක 17ක දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරීන් සහ එම විගණන කටයුතු සඳහා කැමැත්ත පළ කළ ආබාධ සහිත තැනැත්තන් තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ලබා දෙන ලදී.
ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ පුහුණුව ලැබූ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් බත්තරමුල්ල, සෙත්සිරිපාය පළමු සහ දෙවන අදියරෙහි පිහිටි අමාත්‍යාංශ 8ක්, දෙපාර්තමේන්තු සහ අනෙකුත් රාජ්‍ය ආයතන රැසක් ආශ්‍රිතව සිදු කළ විගණනයේ තොරතුරු මෙම වාර්තාවට ඇතුළත් කර ඇත.
ඉදිරියේදී දැනට විගණන කණ්ඩායම් පිහිටුවා ඇති පරිපාලන දිස්ත්‍රික්ක 17ම ආවරණය වන පරිදි මෙම විගණන කටයුතු ක්‍රියාත්මක කිරීමට නියමිතය.
