ජාතික ජන බලවේගය ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා ශ්‍රී ලංකාව ස්වයංක්‍රීය ව එම ගැටුමට මැදිහත් වීමේ අවදානමක් පවතින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ජන හමුවක දී අවධාරණය කළේය.
මහරගම නගර සභාවට පැන්සල් ලකුණින් ඉදිරිපත් වන අපේක්ෂක කණ්ඩායමේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජන හමුව සංවිධානය කර තිබිණි.
එහිදී අදහස් දක්වමින් රණවක මහතා 2018 වසරේ දී බොරලැස්ගමුව වැව සංවර්ධනය, කොට්ටාවේ බස් නැවතුම් පොළ ඉදිකිරීම, මහරගම බස් නැවතුම් පොළ සහ ඒ අවට උද්‍යානයක් බවට පත් කිරීම, නගර මධ්‍යයේ බහුවිධ වාහන අංගනයක් ස්ථාපිත කිරීම සහ රුක්මල්ගම හා වියත්පුර නිවාස ව්‍යාපෘති හරහා මධ්‍යම පාන්තිකයන්ට නිවාස 800ක් ලබා දීම ඇතුළු ඔවුන්ගේ පාලන සමයේ සිදු කළ සංවර්ධන කටයුතු සිහිපත් කළේ ය.
තවද, මහරගම සිට කොටුව දක්වා විනාඩි 20කින් ළඟා විය හැකි කැලණිවැලි දුම්රිය මාර්ගයක් ඉහළින් ඉදිකිරීමටත්, නව නුගේගොඩක්, නව නාවින්නක් සහ නව මහරගමක් නිර්මාණය කිරීමටත් තමන් සැලසුම් කර තිබූ බව ඔහු පැවසීය. එහෙත්, එවකට ‘බයිසිකලයට’ ඡන්දය දීමෙන් මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුව ජයග්‍රහණය කිරීමත්, ජනාධිපතිවරණයෙන් එම විශිෂ්ට වැඩපිළිවෙළ නැති වී ගිය බවත් ඔහු කනගාටුවෙන් යුතු ව සඳහන් කළේ ය. මහරගම මන්ත්‍රීවරුන් ලෙස දිවුලපිටියේ අය පත්වීම විහිළුවක් බවත්, ඒ සම්බන්ධයෙන් දැමූ නඩුවේ ප්‍රතිඵලය ඔවුන්ගේ ධූර කාලය අවසන් වූ පසුව ලැබුණු බවත් ඔහු පැවසීය.
ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙළ විවේචනය කරමින් රණවක මහතා කියා සිටියේ ඔවුන්ගේ සැලසුම් “නාන ළිං හදන්න, බෝක්කු කටවල් මාරු කරන්න. පාරවල් වලට කාපට් කරන්න” යන මට්ටමේ සුළු වැඩ වලට සීමා වී ඇති බවයි. “මේ නගරය මහ නගරයක් කරන්න එක යෝජනාවක් වත් තියෙනවා ද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළ අතර, ඔවුන් ඉදිරිපත් කරන්නේ තවත් පුංචි නගරයක් සඳහා වන යෝජනා බවත්, පමුණුවේ වෙළෙඳ මධ්‍යස්ථානයක් හෝ මාකුඹුරේ සිට කොටුව දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීම වැනි විශාල ව්‍යාපෘති ගැන ඔවුන් කතා නො කරන බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
