දිවයිනට දැනට බලපා ඇති වියලි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සෙල්සියස් අංශක 28ක පැවැතිය යුතු කොළඹ උෂ්ණත්වය අද (15) දිනයේ සෙල්සියස් අංශක 31ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
මෙම අධික උෂ්ණත්වය හමුවේ ජනතාවගේ දෛනික කටයතුවලට බාධා එල්වන තත්ත්වයක් මතුව ඇති අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් වඩා අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පවසයි.
අධික උෂ්ණත්වය හේතුවෙන් ශරීරයේ ජලය සහ ලවණ දහඩිය ලෙස පිටවන අතර ඒ හේතුවෙන් සෞඛ්‍ය සම්පන්න අයෙකු වුවද විජලනයට පත්විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනු ලබයි.
විශේෂයෙන් එළිමහනේ කටයුතු කරන පුද්ගලයින්, මහාමාර්ගවල වැඩකරන පුද්ගලයින් මෙන්ම මේ දිනවල කුඹුරු ආශ්‍රිතව වැඩ කරන පුද්ගලයින්ද වඩා කල්පනාකාරී විය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.
අධික විජලන තත්ත්වය හේතුවෙන් හෘද වස්තුවට සහ මොළයට බලපෑම් එල්ලවිය හැකි අතර එය තාප කම්පන තත්ත්වයක් ලෙසද හඳුන්වනු ලබයි.
මෙම තත්ත්වයන්වලින් වැලකීමට නම් වැඩිපුර ජලය පානය කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
එමෙන්ම වැඩි වශයෙන් ස්වභාවික දියර වර්ග පානයට ගත යුතු බව පෙන්වා දෙන සෞඛ්‍ය අංශ කෘතීම දියර වර්ග පානය ශරීරයට අහිතකර බවද පෙන්වා දී තිබේ..
විශේෂයෙන් මේ දිනවල කුඩා දරුවන්ට තැඹිලි, කුරුම්බා, දෙහි, දෙළුම්, දොඩම්, නාරං වැනි පාන ඉතා සුදුසු බවත් දිනකට විනාඩි 20ක් පමණ ජලයේ රැඳී සිටීමට ඉඩ හැරිය යුතු බවත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.
උණ, වමනය, බඩඑලිය යාම වැනි රෝග ලක්ෂණ පාචන රෝගයේදී දක්නට ඇත.
ඇතැම් අවස්ථාවලදී බඩඑළිය සමග රුධිරය පිට වේනම් එය අතීසාරය ලෙස හැඳින්වෙන බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.
